ධම්ම පදය



ධම්ම පදය
01. යමක වර්ගය
(ගාථා දෙක බැගින් වදාළ කොටස)
01.01.
මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති – චක්කං‘ව වහතෝ පදං ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි යමක් කෙරුවොත් හරි ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගේ පස්සෙන් එන රෝදය වගෙයි.
(ජේතවනාරාමයේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.02.
මනෝපුබ්බංගමා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති – ඡායා’ව අනපායිනී
ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් යහපත් සිතින් යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන සැප විපාක ඔහුගේ පස්සෙන්ම එනවා. තමාව අත්නොහරින හෙවනැල්ලක් වගෙයි.
(ජේතවනාරාමයේදී මට්ටකුණ්ඩලී දිව්‍ය පුත‍්‍රයා අරභයා වදාළ ගාථාවකි ෴)

01.03.
අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති – වේරං තේසං න සම්මති
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා හිතන්ට ගිහින්, යම් කෙනෙක් ක්‍රෝධයෙන් බැඳිල ගියොත්, ඒ උදවියගේ වෛරය නම් සංසිඳෙන්නේ නෑ.
(ජේතවනාරාමයේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.04.
අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ තං න උපනය්හන්ති – වේරං තේසූපසම්මති
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා නොසිතා, යම් කෙනෙක් ක්‍රෝධයක් ඇතිකරගන්නෙ නැත්නම්, ඒ උදවියගේ වෛරය සංසිඳිලා යනවා.
(ජේතවනාරාමයේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.05.
න හි වේරේන වේරානි – සම්මන්තී’ධ කුදාචනං
අවේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනත්තනෝ
මේ ලෝකයේ කවරදාවත් වෛර කිරීමෙන් නම් වෛරය සංසිඳෙන්නේ නෑ. වෛර නොකිරීමෙන් මයි වෛරය සංසිඳෙන්නේ. මේක මේ ලෝකයේ තිබෙන සනාතන ධර්මයක්.
(ජේතවනාරාමයේදී කාළි යක්ෂණිය අරභයා වදාළ ගාථාවකි ෴)

01.06.
පරේ ච න විජානන්ති – මයමෙත්ථ යමාමසේ
යේ ච තත්ථ විජානන්ති – තතෝ සම්මන්ති මේධගා
“මේ විදිහට කෝළාහල කරගන්ට ගියොත්, අපිමයි විනාශ වෙන්නේ කියල” මේ කෝළාහල කරන උදවිය දන්නෙ නෑ. නමුත් මේ කෝළාහල වලින් වැනසෙන්නෙ අපිමයි කියල යම් කෙනෙක් දන්නවා නම්, ඒ තුළින්මයි කෝළාහල සංසිඳෙන්නේ.
(කොසැඹෑ නුවරදී කළහකාරී භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.07.
සුභානුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියේසු අසංවුතං
භෝජනම්හි අමත්තඤ්ඤුං – කුසීතං හීනවීරියං
තං වේ පසහති මාරෝ – වාතෝ රුක්ඛං’ව දුබ්බලං
තමාව ඇවිස්සෙන විදිහට අරමුණු ශුභ වශයෙන්ම බල බලා ඉන්ට ගියොත්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් අසංවර කරගත්තොත්, දන් වැළඳීමේ අර්ථය පවා දන්නෙ නැත්නම්, ඔහු කුසීත වූ, හීන වීරිය ඇති කෙනෙක්. ඔහු මාරයාට යටවෙන්නේ මහා සුළඟකින් කඩාගෙන වැටෙන දුර්වල ගහක් වගේ.
(සේතව්‍ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.08.
අසුභානුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියේසු සුසංවුතං
භෝජනම්හි ච මත්තඤ්ඤුං – සද්ධං ආරද්ධවීරියං
තං වේ නප්පසහති මාරෝ – වාතෝ සේලං’ව පබ්බතං
රාගය දුරුවෙලා යන විදිහට අශුභ දෙය අශුභ වශයෙන්ම දකිමින් ඉන්නවා නම්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් සංවර කරගෙන නම්, දන් වැළඳීමේ අර්ථය දන්නවා නම්, ඔහු ශ‍්‍රද්ධාවන්ත කෙනෙක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන, පටන්ගත් වීරිය ඇති කෙනෙක්. මාරයාට ඔහුව සොළවන්ටවත් බැහැ. කොයි තරම් හුළං හැමුවත් සොළවන්නට බැරි ගල් පර්වතයක් වගෙයි.
(සේතව්‍ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.09.
අනික්කසාවෝ කාසාවං – යෝ වත්ථං පරිදහෙස්සති
අපේතෝ දමසව්චේන – න සෝ කාසාවමරහති
කවුරු හරි කසාවත පොරවා ගෙන ඉන්නෙ කෙලෙස් කහටත් එක්ක නම්, ඉන්ද්‍රිය දමනයක් නැති, ඇත්ත කතාකිරීමක් නැති ඒ පුද්ගලයා (මේ අරහත් ධජය වූ) කසාවත පොරවන්ට කිසිසේත් සුදුසු නෑ.
(රජගහ නුවරදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි ෴)

01.10.
යෝ ච වන්තකසාවස්ස – සීලේසු සුසමාහිතෝ
උපේතෝ දමසච්චේන – ස වේ කාසාවමරහති
කසාවත දරාගෙන ඉන්න කෙනා කෙලෙස් කහට වමනෙ දැම්මා නම්, සිල්වත් නම්, සමාධියකින් යුක්ත නම්, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත නම්, ඇත්ත කතාකරන කෙනෙක් නම්, ඇත්තෙන්ම ඔහු තමයි කසාවතට නියම සුදුස්සා.
(රජගහ නුවරදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි ෴)

01.11.
අසාරේ සාරමතිනෝ – සාරේ චාසාරදස්සිනෝ
තේ සාරං නාධිගච්ඡඑන්ති – මිච්ඡාසංකප්ප ගෝචරා
මේ ලෝකේ නිස්සාර දේවල් තියෙනවා. සමහරුන්ට ඒවා පේන්නෙ සාරවත් විදිහටමයි. සීල, සමාධි, ප‍්‍රඥා ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටයි ඔවුන්ට පේන්නෙ. මිත්‍යා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නෙ. ඔවුන්ට සාරවත් දෙයක් නම් ලැබෙන්නෙ නෑ.
(වේළුවනාරාමයේදී සංජය පිරිවැජියා අරභයා වදාළ ගාථාවකි ෴)

01.12.
සාරං ච සාරතෝ ඤත්වා – අසාරං ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡඑන්ති – සම්මා සංකප්පගෝචරා
සම්මා දිට්ඨිය නිසා, සම්මා සංකප්ප ඇති කරගත්ත උදවිය ඉන්නවා. ඔවුන් සීල, සමාධි, ප‍්‍රඥා ආදී සාරවත් දේ, සාරවත් දේ හැටියටම අවබෝධයෙන් දන්නවා. නිස්සාර දේ නිස්සාර දේ හැටියටත් දන්නවා. ඒ නිසා ඔවුන් සාරවත් වූ නිවන අවබෝධ කරගන්නවා.
(වේළුවනාරාමයේදී සංජය පිරිවැජියා අරභයා වදාළ ගාථාවකි ෴)

01.13.
යථාගාරං දුච්ඡුන්නං – වුට්ඨි සමතිවිජ්ඣති
ඒවං අභාවිතං චිත්තං – රාගෝ සමතිවිජ්ඣති
ගේක වහලය සෙවිලි කරලා තියෙන්නෙ වැරදි පිළිවෙළට නම්, වැස්ස වහිනකොට ඒ වහලය තුළින් ගෙට වතුර ගලනවා. සමථ විදර්ශනා භාවනාවෙන් දියුණු නොකළ සිතත් ඔය වගේම තමයි. එ් සිත තුළට රාගය ඇතුල් වෙනවා.
(ජේතවනාරාමයේදී නන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.14.
යථාගාරං සුච්ඡුන්නං – වුට්ඨි න සමතිවිජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං – රාගෝ න සමතිවිජ්ඣති
ගේක වහලය සෙවිලි කරලා තියෙන්නෙ නියම පිළිවෙළට නම්, වැස්ස වහිනකොට එ් වහලය තුළින් ගෙට වතුර ගලන්නේ නෑ. සමථ විදර්ශනා භාවනාවෙන් දියුණු කරපු සිතත් ඔය වගේම තමයි. ඒ සිත තුළට රාගය ඇතුල්වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී නන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.15.
ඉධ සෝචති පෙච්ච සෝචති – පාපකාරී උභයත්ථ සෝචති
සෝ සෝචති සෝ විහඤ්ඤති – දිස්වා කම්මකිලිට්ඨමත්තනෝ
පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී ශෝක වෙන්නේ. පරලොවදීත් ඔහුමයි ශෝක වෙන්නේ. දෙලොවදීම ඔහු ශෝක වෙනවා. තමන් විසින් සිදුකරගත්තු කිලිටි අකුසල කර්ම දැකලා, ඔහු ශෝක වෙනවා. පීඩාවට පත් වෙනවා.
(ජේතවනාරාමයේදී චුන්ද සූකරික නම් ඌරුවැද්දා අරභයා වදාළ ගාථාවකි. ෴)

01.16.
ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා.
(ජේතවනාරාමයේදී ධම්මික උපාසකතුමා අරභයා වදාළ ගාථාවකි ෴)

01.17.
ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරී උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති – භිය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ
පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී පසුතැවෙන්නෙ. පරලොවදී පසුතැවෙන්නෙත් ඔහු මයි. ඔහු දෙලොවදීම පසුතැවෙනව. ‘අයියෝ! මං පව් කරගත්තා’ කියලා පසුතැවෙනවා. අපායේ ඉපදුණාට පස්සෙ ඔහු ගොඩක් පසුතැවෙනවා.
(ජේතවනාරාමයේදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි ෴)

01.18.
ඉධ නන්දති පෙච්ච නන්දති – කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති
පුඤ්ඤං මේ කතන්ති නන්දති – භිය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝ
හොඳ පින් දහම් කරගත්ත කෙනා තමයි මෙලොවදී සතුටු වෙන්නේ. පරලොවදී සතුටු වෙන්නෙත් ඔහුමයි. දෙලොවදීම ඔහු සතුටු වෙනවා. ‘මං පිං කරගත්තා’ කියලා සතුටු වෙනවා. සුගතියේ ඉපදුණාට පස්සෙ ගොඩක් සතුටු වෙනවා.
(ජේතවනාරාමයේදී සුමනා සිටුකුමරිය අරභයා වදාළ ගාථාවකි ෴)

01.19.
බහුම්පි චේ සහිතං භාසමානෝ – න තක්කරෝ හෝති නරෝ පමත්තෝ
ගෝපෝ’ව ගාවෝ ගණයං පරේසං – න භාගවා සාමඤ්ඤස්ස හෝති
ප‍්‍රමාදී පුද්ගලයා අනික් උදවියට කොයිතරම් ධර්ම දේශනා කළත්, තමන් එ් ධර්මය අනුගමනය කරන්නේ නෑ. ඔහු අනුන්ගේ ගව පට්ටියක් පෝෂණය කරන ගොපල්ලෙක් වගෙයි. තමන්ගේ ශ‍්‍රමණ ජීවිතයෙන් මාර්ග ඵල අවබෝධයකට හිමිකාරයෙක් වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී යහළු තෙරුන් දෙනමක් අරභයා වදාළ ගාථාවකි ෴)

01.20.
අප්පම්පි චේ සහිතං භාසමානෝ – ධම්මස්ස හෝති අනුධම්මචාරී
රාගංච දෝසංච පහාය මෝහං – සම්මප්පජානෝ සුවිමුත්තචිත්තෝ
අනුපාදියානෝ ඉධ වා හුරං වා – ස භාගවා සාමඤ්ඤස්ස හෝති
ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්ම දේශනා කරන්නේ ටිකක් වෙන්න පුළුවනි. නමුත් ඔහු එ් ධර්මයේ පිහිටලා රාග, ද්වේෂ, මෝහ දුරුකරනවා. ධර්මාවබෝධය තුළින් දුකෙන් නිදහස් වෙච්ච සිතක් ඇති කර ගන්නවා. මෙලොව, පරලොව කිසි දේකට ඔහු බැඳෙන්නෙ නෑ. තමන්ගේ ශ‍්‍රමණ ජීවිතෙන් උතුම් මග ඵල ලබාගැනීමේ හිමිකාරයා වෙන්නෙ අන්න ඒ භික්ෂුව තමයි.
(ජේතවනාරාමයේදී යහළු තෙරුන් දෙනමක් අරභයා වදාළ ගාථාවකි ෴)
සාදු! සාදු!! සාදු!!!
ගාථා දෙක බැගින් වදාළ කොටස නිමා විය.
(යමක වග්ගය නිමා විය.)


02. අප්පමාද වර්ගය
(අප‍්‍රමාදී වීම ගැන වදාළ කොටස)
02.01.
අප්පමාදෝ අමතපදං – පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති – යේ පමත්තා යථා මතා අප‍්‍රමාදීව සීල, සමාධි, ප‍්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප‍්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නෙ ආයෙ ආයෙමත් මරණය විතරයි. අප‍්‍රමාදීව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා. ප‍්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළ කඳන් වගේ තමයි.
(වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි ෴)

02.02.
එ්තං විසේසතෝ ඤත්වා – අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදේ පමෝදන්ති – අරියානං ගෝචරේ රතා
අප‍්‍රමාදීව ධර්මයේ හැසිරෙන බුද්ධිමත් උදවිය ඔය ප‍්‍රමාද අප‍්‍රමාද දෙකේ වෙනස හොඳට දන්නවා. එ් නිසා ආර්යන් වහන්සේලාගේ නවාතැන වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයේම ඇලෙනවා. අප‍්‍රමාදී ගුණය ගැනම සතුටු වෙනවා.
(වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි ෴)

02.03.
තේ ඣායිනෝ සාතතිකා – නිච්චං දළ්හපරක්කමා
ඵුසන්ති ධීරා නිබ්බානං – යෝගක්ඛේමං අනුත්තරං
ඒ ප‍්‍රඥාවන්ත ශ‍්‍රාවකයන් වහන්සේලා නිරන්තරයෙන්ම ධ්‍යාන වඩනවා. හැම තිස්සේම දැඩි වීරියෙන් යුතුව, ධර්මයේ හැසිරෙනවා. ඒ නිසා සියලු භව බන්ධන වලින් නිදහස් වෙලා, අනුත්තර වූ ඒ අමා මහ නිවන සාක්ෂාත් කරනවා.
(වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි ෴)

02.04.
උට්ඨානවතෝ සතිමතෝ – සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ – අප්පමත්තස්ස යසෝ’භිවඞ්ඪති
නැගී සිටින වීරියෙන් යුක්ත නම්, හොඳින් සිහිය පවත්වනවා නම්, පිරිසිදු ක‍්‍රියාවෙන් යුක්ත නම්, නුවණින් විමසා බලා කටයුතු කරනවා නම්, සංවර නම්, ධාර්මික ජීවිතයක් ගෙවනවා නම්, අන්න එ් අප‍්‍රමාදී පුද්ගලයාගේ කීර්ති රාවය ඉහළින්ම පැතිරෙනවා.
(වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි ෴)

02.05.
උට්ඨානේනප්පමාදේන – සඤ්ඤමේන දමේන ච
දීපං කයිරාථ මේධාවී – යං ඕඝෝ නාභිකීරති.
බුද්ධිමත් ශ‍්‍රාවකයා වීරියෙන් නැගී සිටිමින් අප‍්‍රමාදයෙන් යුක්ත වෙනවා. සංවර වෙනවා. දමනය වෙනවා. කෙලෙස් සැඩපහරට යටවෙන්නෙ නැති ‘ඒ අමා නිවන’ නැමැති දිවයින ඒ තුළින්මයි ඔහු හදාගන්නේ.
(වේළුවනාරාමයේදී චුල්ලපන්ථක තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

02.06.
පමාදමනුයුඤ්ජන්ති – බාලා දුම්මේධිනෝ ජනා
අප්පමාදඤ් ච මේධාවී – ධනං සෙට්ඨං’ව රක්ඛති
මේ ප‍්‍රඥාවක් නැති අන්ධ බාල ජනතාව කාම සැපයට අහුවෙලා, ප‍්‍රමාදයේම ගැලී ඉන්නවා. නමුත් බුද්ධිමත් පුද්ගලයා මේ අප‍්‍රමාදී බව රැකගන්නෙ, තමන් සතු මහානීය ධනයක් රකිනවා වගේ.
(ජේතවනාරාමයේදී නැකැත් ක‍්‍රීඩාවක් අරභයා වදාළ ගාථාවකි ෴)

02.07.
මා පමාද’මනුයුඤ්ජේථ – මා කාමරතිසන්ථවං
අප්පමත්තෝ හි ඣායන්තෝ – පප්පෝති විපුලං සුඛං
(නැකැත් පස්සෙ දුවන බාල ජනයා ප‍්‍රමාද වෙන විදිහට) ප‍්‍රමාදයේ ඇලී ගැලී වසන්ට එපා. ඔය කාම සැපයට ඇලෙන්න එපා. කාමයත් එක්ක එකතුවෙන්ටත් එපා. අප‍්‍රමාදීව බණ භාවනා කරගත්තොත් මහා සැපයකට පත්වෙන්ට පුළුවනි.
(ජේතවනාරාමයේදී නැකැත් ක‍්‍රීඩාවක් අරභයා වදාළ ගාථාවකි ෴)

02.08.
පමාදං අප්පමාදේන – යදා නුදති පණ්ඩිතෝ
පඤ්ඤාපාසාදමාරුය්හ – අසෝකෝ සෝකිනිං පජං
පබ්බතට්ඨෝ’ව භුම්මට්ඨේ – ධීරෝ බාලේ අවෙක්ඛති
බුද්ධිමත් ශ‍්‍රාවකයා යම් දවසක ප‍්‍රමාදය දුරුකරන්නේ අප‍්‍රමාදය මුල්කරගෙනමයි. එතකොට ඔහු ප‍්‍රඥාවෙන් නිර්මිත ප‍්‍රාසාදයට නගිනවා. එතන ඉඳලා ශෝක රහිතව, ශෝක වෙන ජනතාව දිහා බලනවා. කන්දක් මුදුනට නැගපු කෙනෙක් බිම සිටින අය දිහා බලනවා වගේ, ඒ ප‍්‍රඥාවන්තයා බාල ජනයා දිහා බලනවා.
(ජේතවනාරාමයේදී මහා කස්සප තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

02.09.
අප්පමත්තෝ පමත්තේසු – සුත්තේසු බහුජාගරෝ
අබලස්සං’ව සීඝස්සෝ – හිත්වා යාති සුමේධසෝ
සුන්දර නුවණින් යුතු මුනිවරයා ප‍්‍රමාදී වූ ජනතාව අතරේ අප‍්‍රමාදීව ඉන්නවා. නින්දේ ගැලූණු ජනතාව අතරේ නොනිදා භාවනා කරනවා. ඔහු ඒ අමා නිවන කරා යන්නේ දුර්වල අශ්වයෙක්ව පරදවා, වේගයෙන් දුවන ජවසම්පන්න අශ්වයෙකු පරිද්දෙනි.
(ජේතවනාරාමයේදී යහළු භික්ෂූන් දෙනමක් අරභයා වදාළ ගාථාවකි ෴)

02.10.
අප්පමාදේන මඝවා – දේවානං සෙට්ඨතං ගතෝ
අප්පමාදං පසංසන්ති – පමාදෝ ගරහිතෝ සදා
ඔය ශක‍්‍ර දේවේන්ද්‍රයා මිනිස් ලොව මඝ මානව කාලෙ අප‍්‍රමාදීව පින් කරගත් නිසාමයි දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ. බුදුවරයන් වහන්සේලා ප‍්‍රශංසා කරන්නේ අප‍්‍රමාදයමයි. ප‍්‍රමාදය කියන්නේ සදාකාලයටම ගැරහුම් ලබන දෙයක්.
(විසාලා මහනුවරදී සක්දෙව් රජ අරභයා වදාළ ගාථාවකි ෴)

02.11.
අප්පමාදරතෝ භික්ඛු – පමාදේ භයදස්සි වා
සංයෝජනං අණුං ථූලං – ඩහං අග්ගීව ගච්ඡති
යම් භික්ෂුවක් අප‍්‍රමාදයේ ඇලී සිටිනවා නම්, ප‍්‍රමාදවීමේ ඇති භයානක අනතුර දකිනවා නම්, හැම දෙයක්ම දවාගෙන යන ගින්නක් වගේ, ලොකු කුඩා හැම බන්ධනයක්ම නසාගෙන ඒ අමා නිවන කරාම යනවා.
(ජේතවනාරාමයේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

02.12.
අප්පමාදරතෝ භික්ඛු – පමාදේ භයදස්සි වා
අභබ්බෝ පරිහාණාය – නිබ්බාණස්සේව සන්තිකේ
යම් භික්ෂුවක් අප‍්‍රමාදයේ ඇලී ඉන්නවා නම්, ප‍්‍රමාද වීමේ ඇති භයානක අනතුර දකිනවා නම්, ඔහු පිරිහෙන්ට සුදුසු කෙනෙක් නොවෙයි. ඒ අමා නිවන ළඟමයි.
(නිගමතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

සාදු! සාදු!! සාදු!!!
අප‍්‍රමාදී වීම ගැන වදාළ කොටස නිමා විය.
(අප්පමාද වග්ගය නිමා විය.)


03. චිත්ත වර්ගය
(සිත ගැන වදාළ කොටස)
03.01.
ඵන්දනං චපලං චිත්තං – දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවී – උසුකාරෝ’ව තේජනං හිත කියලා කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්. රැකගන්නට අමාරු දෙයක්. වරදින් වළක්වන්ටත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා (ධර්මයේ පිහිටලා) එබඳු සිත පවා ඍජු කරගන්නවා. ඇද කුද හැරලා ඊ දණ්ඩක් ඍජු කරන හී වඩුවෙක් වගේ.
(වාලිකා පර්වතයේදී මේඝිය තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

03.02.
වාරිජෝ’ව ථලේ ඛිත්තෝ – ඕකමෝකත උබ්භතෝ
පරිඵන්දති’දං චිත්තං – මාරධෙය්‍යං පහාතවේ
වතුරෙන් ගොඩට ගත්තු මාළුවෙක් දඟලනවා වගේ මේ හිත අරමුණෙන් අරමුණට දඟල දඟල තියෙන්නේ. එබඳු සැලෙන සිතකින් යුක්ත නිසා, සකස් වෙලා තියෙන මේ උගුල දුරුකරන්ටමයි ඕනෙ.
(වාලිකා පර්වතයේදී මේඝීය තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

03.03.
දුන්නිග්ගහස්ස ලහුනෝ – යත්ථකාමනිපාතිනෝ
චිත්තස්ස දමථෝ සාධු – චිත්තං දන්තං සුඛාවහං
මේ ‘සිත’ කියන්නේ නිග‍්‍රහ කරලා දමනය කරන්නට අමාරු දෙයක්. එක මොහොතින් වෙනස් වෙනවා. ආස කරන දේටමයි ඇදිලා යන්නේ. එබඳු සිතක් දමනය කරගැනීම කොයිතරම් හොඳ දෙයක්ද. දමනය කළ සිතින් මහා සැපයක් ලබන්නට පුළුවනි.
(සැවැත් නුවරදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

03.04.
සුදුද්දසං සුනිපුනං – යත්ථකාමනිපාතිනං
චිත්තං රක්ඛේථ මේධාවී – චිත්තං ගුත්තං සුඛාවහං
සිතේ ඇත්ත ස්වභාවය දකින එක හරිම අමාරුයි. ඒ වගේම සිත ගොඩක් සියුම්. හිතුමනාපෙ ආසකරන දේටම ඇදිලා යනවා. බුද්ධිමත් කෙනා තමයි එබඳු සිත නොමඟට වැටෙන්නට නොදී රැුක ගන්නේ. හොඳින් රැකගත් සිතින් මහා සැපයක් ලබන්නට පුළුවනි.
(සැවැත් නුවරදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

03.05.
දූරංගමං ඒකචරං – අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති – මොක්ඛන්ති මාරබන්ධනා
මේ සිතට බොහෝම දුර ගමන් තියෙනවා. හැබැයි තනියම තමයි යන්නෙ. හිතට ඇඟක් නෑ. නමුත් මේ සිත වාසය කරන්නෙ ශරීරය නමැති ගුහාවෙ. යම් කෙනෙක් එබඳු සිත දමනය කරගත්තොත්, අන්න ඒ උදවියට මේ මාර බන්ධනයෙන් නිදහස් වෙන්ට පුළුවනි.
(සැවැත් නුවරදී භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන් උදෙසා වදාළ ගාථාවකි ෴)

03.06.
අනවට්ඨිතචිත්තස්ස – සද්ධම්මං අවිජානතෝ
පරිප්ලවපාසදස්ස – පඤ්ඤා න පරිපූරති
ධර්මයේ හැසිරෙන අදහස තුළ ස්ථිරව පිහිටන්ට බැරි සිතක් නම් තියෙන්නේ, සද්ධර්මය දන්නෙත් නැත්නම්, අවබෝධයක් නැතුව පහදින ඉල්පෙන ශ‍්‍රද්ධාවක් නම් තියෙන්නෙ, ඔහුගේ ප‍්‍රඥාව වැඩෙන්නෙ නෑ. 
(සැවැත් නුවරදී චිත්තහත්ථ තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

03.07.
අනවස්සුතචිත්තස්ස – අනන්වාහතචේතසෝ
පුඤ්ඤපාපපහීනස්ස – නත්ථි ජාගරතෝ භයං
රාගයෙන් තෙත් නොවන සිතක් ඇති කෙනාට, ද්වේෂයෙන් ගුටි නොකන සිතක් ඇති කෙනාට, පින් පව් දෙකම නැතිකර දැමූ කෙනාට, නොනිදා භාවනා කරන කෙනාට කිසි බයක් නෑ.
(සැවැත් නුවරදී චිත්තහත්ථ තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

03.08.
කුම්භූපමං කායමිමං විදිත්වා – නගරූපමං චිත්තමිදං ඨපෙත්වා
යෝධේථ මාරං පඤ්ඤායුධේන – ජිතඤ්ච රක්ඛේ අනිවේසනෝ සියා
වහා බිඳී යන මැටි බඳුනක් වගේ කියලයි මේ කය ගැන දැනගන්නට ඕනෙ. හොඳට ආරක්ෂාව තියෙන නගරයක් විදිහටයි මේ හිත තබාගන්ට ඕනෙ. මාරයත් එක්ක යුද්ධ කරන්ට තියෙන්නෙ ප‍්‍රඥාව නැමැති ආයුධයෙන්. යුද්ධෙන් ජය අරගෙන ඒක රැක ගන්ට ඕනෙ. ආයෙමත් සංසාරෙට නවාතැන් නම් හදන්ට ඕනෙ නෑ.


03.09.
අචිරං වතයං කායෝ – පඨවිං අධිසෙස්සති
ඡුද්ධෝ අපේතවිඤ්ඤාණෝ – නිරත්ථං’ව කලිංගරං
ඇත්තෙන්ම මේ ශරීරය එච්චර කාලයක් තියෙන එකක් නොවෙයි. විඤ්ඤාණය පහ වුණාට පස්සෙ වැඩකට ගන්ට බැරි දරකඩක් වගේ, මහ පොළොවෙ වැතිරෙනවා.
(සැවැත් නුවරදී පූතිගත්තතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

03.10.
දිසෝ දිසං යන්තං කයිරා – වේරී වා පන වේරිනං
මිච්ඡාපණිහිතං චිත්තං – පාපියෝ නං තතෝ කරේ
හොරෙක් තවත් හොරෙකුට දරුණු විපතක් කරනවාටත් වඩා, වෛරක්කාරෙයෙක් තවත් වෛරක්කාරයෙකුට දරුණු විපතක් කරනවාටත් වඩා, මිත්‍යා දෘෂ්ටියේ පිහිටවා ගත් සිත විසින්, තමාව ඊටත් වඩා පාපියෙකු කරනවා.
(කොසොල් ජනපදයේදී නන්ද ගොපල්ලා අරභයා වදාළ ගාථාවකි ෴)

03.11.
න තං මාතා පිතා කයිරා – අඤ්ඤේ වා පි ච ඤාතකා
සම්මාපණිහිතං චිත්තං – සෙය්‍යසෝ නං තතෝ කරේ
මේ වැඬේ තමන්ගේ අම්මා විසින් කරලා දෙන්නෙත් නෑ. තාත්තා විසින් කරලා දෙන්නෙත් නෑ. වෙන ඤාතියෙක් කරලා දෙන්නෙත් නෑ. ඒ වැඬේ තමයි යහපත් කොට ධර්මය තුළ හිත පිහිටුවාගන්න එක. ඒ හේතුවෙන්මයි ඔහු උතුම් කෙනෙක් බවට පත්වෙන්නේ.

සාදු! සාදු!! සාදු!!!
සිත ගැන වදාළ කොටස නිමා විය.
(චිත්ත වග්ගය නිමා විය.)


04. පුප්ඵ වර්ගය
(මල් උපමා කොට වදාළ කොටස)
04.01.
කෝ ඉමං පඨවිං විජෙස්සති – යමලෝකඤ්ච ඉමං සදේවකං
කෝ ධම්මපදං සුදේසිතං – කුසලෝ පුප්ඵමිව පචෙස්සති මේ පෘථිවිය ජයගන්නෙ කවුද? අපාය ජයගන්නෙ කවුද? දෙවියන් සහිත වූ මේ ලෝකය ජයගන්නෙ කවුද? දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් තෝරාගෙනම නෙලාගන්නව වගේ මනාකොට දේශනා කරලා තියෙන මේ සදහම් පද අවබෝධ කරගන්නෙ කවුද?
(සැවැත් නුවරදී පෘථිවිය ගැන කථා කර කර සිටි පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

04.02.
සේඛෝ පඨවිං විජෙස්සති – යමලෝකඤ්ච ඉමං සදේවකං
සේඛෝ ධම්මපදං සුදේසිතං – කුසලෝ පුප්ඵමිව පචෙස්සති
ඒ අමා නිවන් මගේ ගමන් කරන කෙනා තමයි මේ පෘථිවිය දිනාගන්නෙ. අපාය දිනාගන්නෙත් ඒ තැනැත්තාමයි. දෙවියන් සහිත මේ ලෝකයම දිනාගන්නෙත් ඒ කෙනාම තමයි. දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් තෝරලා, නෙළාගන්නවා වගේ, මනාකොට දේශනා කරලා තියෙන මේ සදහම් පද අවබෝධ කරගන්නෙත් ඒ තැනැත්තාමයි.
(සැවැත් නුවරදී පෘථිවිය ගැන කථා කර කර සිටි පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

04.03.
ඵේණූපමං කායමි’මං විදිත්වා – මරීචිධම්මං අභිසම්බුද්ධානෝ
ඡෙත්වාන මාරස්ස පපුප්ඵකානි – අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ
අසාර වූ පෙණ පිඬක් විලසටයි මේ කය ගැන දැනගන්නට ඕනෙ. ජීවිතේ තුළ තියෙන්නෙ මිරිඟුවක ස්වභාවයක් කියලයි අවබෝධ කරගන්ට ඕනෙ. මාරයා සතුව තියෙන කෙලෙස් බන්ධන කියන මල් මාලාවන් සිඳ බිඳ දමලා, මාරයාට කිසිසේත් දකින්ට බැරි නිවන කරාමයි යන්න ඕනෙ.
(සැවැත් නුවරදී මිරිඟුවක් මුල්කොට භාවනා කළ භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

04.04.
පුප්ඵානි හේ’ව පචිනන්තං – බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝෝ’ව – මච්චු ආදාය ගච්ඡති
මල්කාරයෙක්, නෙලාගන්ට මල් සොය සොයා ගහක් ගානෙ යනවා වගේ, මේ කම් සැපයට ඇළුණු පුද්ගලයා කාමයම හොය හොය යනවා. අන්තිමේදී ගමක මිනිස්සු නිදාගෙන සිටිද්දීම මහ ගංවතුරක් ඇවිත් ඔවුන්ව මුහුදට ගහගෙන යනව වගේ, මාරයා විසින් එ් පුද්ගලයාවත් අපා දුකට අරගෙන යනවා.
(සැවැත් නුවරදී විඩූඩභ ශාක්‍යයා අරභයා වදාළ ගාථාවකි ෴)

04.05.
පුප්ඵානි හේව පචිනන්තං – බ්‍යාසත්තමනසං නරං
අතිත්තං යේව කාමේසු – අන්තකෝ කුරුතේ වසං
මල්කාරයෙක්, නෙලාගන්ට මල් සොය සොයා ගහක් ගානෙ යනවා වගේ, මේ කම් සැපයට ඇළුණු පුද්ගලයා කාමයම හොය හොය යනවා. අන්තිමේදී ඔහු මාරයාගේ ග‍්‍රහණයට හසුවෙන්නෙ, ඒ කාමයන් ගැන තෘප්තියකට පත් නොවී සිටිද්දීමයි.
(සැවැත් නුවරදී පතිපූජිකා අරභයා වදාළ ගාථාවකි ෴)

04.06.
යථාපි භමරෝ පුප්ඵං – වණ්ණගන්ධං අහේඨයං
පළේති රසමාදාය – ඒවං ගාමේ මුනී චරේ
බඹරා මල් පැණි අරගෙන පියඹා යන්නේ, ඒ මලේ සුන්දරත්වයත්, සුවඳත් වනසන්නෙ නැතිවයි. මුනිවරයාත් ගමේ පිඬුසිඟා වඩින්නෙ අන්න ඒ විදිහටයි.
(සැවැත් නුවරදී මච්ඡරිය කෝසිය අරභයා වදාළ ගාථාවකි ෴)

04.07.
න පරේසං විලෝමානි – න පරේසං කතාකතං
අත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච
අනුන්ගේ වචනවල ඇදකුද හොයන්ට ඕනෙ නෑ. අනුන් කළ – නොකළ දේවල් ගැන සොයන්ට ඕනෙත් නෑ. තමන් ගැනම බලාගත්තහම ඇති. තමන් කළ නොකළ දේ ගැන බලාගත්තහම ඇති.
(සැවැත් නුවරදී පාඨික ආජීවකයා අරභයා වදාළ ගාථාවකි ෴)

04.08.
යථාපි රුචිරං පුප්ඵං – වණ්ණවන්තං අගන්ධකං
ඒවං සුභාසිතා වාචා – අඵලා හෝති අකුබ්බතෝ
ලස්සන මලක් තියෙනවා. හරිම පැහැපත්. ඒ වුණාට කිසි සුවඳක් කෑ. අන්න ඒ වගේමයි, බුදු සමිඳුන් වදාළ ශ‍්‍රී සද්ධර්මය වුණත් අනුගමනය නොකරන කෙනෙකුට වැඩක් නෑ.
(සැවැත් නුවරදී ඡත්තපාණී උපාසක අරභයා වදාළ ගාථාවකි ෴)

04.09.
යථාපි රුචිරං පුප්ඵං – වණ්ණවන්තං සගන්ධකං
එ්වං සුභාසිතා වාචා – සඵලා හෝති පකුබ්බතෝ
ලස්සන මලක් තියෙනවා. හරිම පැහැපත්. ඒ වගේම හරිම සුවඳයි. අන්න ඒ වගේමයි. බුදු සමිඳුන් වදාළ ධර්මය අනුගමනය කළොත්, සාර්ථක ප‍්‍රතිඵල ලබන්න පුළුවන්.
(සැවැත් නුවරදී ඡත්තපාණී උපාසක අරභයා වදාළ ගාථාවකි ෴)

04.10.
යථාපි පුප්ඵරාසිම්හා – කයිරා මාලාගුණේ බහූ
ඒවං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං
දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් ගොඩක් එකතු කරලා මල් මාලා ගොඩක් ගොතනවා වගේ, මිනිස් ලෝකෙ ඉපදිච්ච කෙනා ඒ විදිහටම පුළුවන් තරම් කුසල්මයි කරගන්න ඕනෙ.
(සැවැත් නුවරදී විශාඛා උපාසිකාව අරභයා වදාළ ගාථාවකි ෴)

04.11.
න පුප්ඵගන්ධෝ පටිවාතමේති – න චන්දනං තගරමල්ලිකා වා
සතඤ්ච ගන්ධෝ පටිවාතමේති – සබ්බා දිසා සප්පුරිසෝ පවාති
මල් සුවඳ උඩු සුළෙඟ හමා යන්නෙ නෑ. සඳුන්, තුවරලා, සීනිද්ද, බෝලිද්ද කොච්චර සුවඳ වුණත්, උඩු සුළෙඟ හමන්නෙ නෑ. නමුත්, සත්පුරුෂයින්ගේ ගුණ සුවඳ උඩු සුළෙඟ පවා හමනවා. සත්පුරුෂයා හැම දිසාවක්ම සුවඳවත් කරනවා.
(සැවැත් නුවරදී ආනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

04.12.
චන්දනං තගරං වාපි – උප්පලං අථ වස්සිකී
ඒතේසං ගන්ධජාතානං – සීලගන්ධෝ අනුත්තරෝ
සඳුන්, තුවරලා, මානෙල්, සමන් පිච්ච කියන ඔය මල්වල සුවඳට වඩා, ගුණවතුන්ගේ සිල් සුවඳ කොයිතරම් උතුම්ද.
(සැවැත් නුවරදී ආනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

04.13.
අප්පමත්තෝ අයං ගන්ධෝ – යායං තගරචන්දනී
යෝ ච සීලවතං ගන්ධෝ – වාති දේවේසු උත්තමෝ
සඳුන්, තුවරලා වගේ මල්වල තියෙන්නෙ සුවඳ ටිකයි. ඒ වුණාට, සිල්වතුන්ගේ ගුණ සුවඳ ඊට වඩා උතුම්. දෙව්ලොවටත් හමාගෙන යනවා.
(වේළුවනාරාමයේදී මහා කස්සප තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

04.14.
තේසං සම්පන්නසීලානං – අප්පමාදවිහාරිනං
සම්මදඤ්ඤා විමුත්තානං – මාරෝ මග්ගං න වින්දති
ඒ රහතන් වහන්සේලා සීලවන්තයි. අප‍්‍රමාදීව මයි ධර්මයේ හැසිරෙන්නේ. ආර්ය සත්‍ය අවබෝධය තුළින් දුකින් නිදහස් වෙලයි ඉන්නෙ. උන්වහන්සේලා වඩින මග මාරයාට නම් දැනගන්ට බෑ.
(වේළුවනයේදී ගෝධික තෙරුන්ගේ පිරිනිවන් පෑම අරභයා වදාළ ගාථාවකි ෴)

04.15.
යථා සංකාරධානස්මිං – උජ්ඣිතස්මිං මහාපථේ
පදුමං තත්ථ ජායේථ – සුචිගන්ධං මනෝරමං
මහපාර අයිනෙ කුණු දාන ලොකු වතුර වළවල් තියෙනවා. ඔය මඩ වතුරෙ නෙළුමක් පිපෙනවා. ඒ නෙළුම් මල හරිම සුවඳයි. හරිම ලස්සනයි.


04.16.
ඒවං සංකාරභූතේසු – අන්ධභූතේ පුථුජ්ජනේ
අතිරෝචති පඤ්ඤාය – සම්මාසම්බුද්ධසාවකෝ
මේ අන්ධබාල පෘථග්ජනයන්ගේ ලෝකෙත් ඔය විදිහමයි. කුණු දාන වතුර වළක් වගේ. නමුත් ඔය ලෝකෙමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයා බබලන්නේ. මඬේ පිපිච්ච සුවඳ නෙළුමක් වගේ.
(ජේතවනාරාමයේදී ගරහදින්න අරභයා වදාළ ගාථාවන්ය ෴)
සාදු! සාදු!! සාදු!!!
මල් උපමා කොට වදාළ කොටස නිමා විය.
(පුප්ඵ වග්ගය නිමා විය.)


05. බාල වර්ගය
(බාලයා ගැන වදාළ කොටස)
05.01.
දීඝා ජාගරතෝ රත්ති – දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ – සද්ධම්මං අවිජානතං නොනිදා ඇහැරගෙන ඉන්න කෙනාට, රාත‍්‍රිය ගොඩාක් දිගයි. වෙහෙසට පත්වෙච්ච කෙනාට යොදුන ගොඩක් දිගයි. අන්න ඒ විදිහමයි, සද්ධර්මය අවබෝධ නොකරගත්තු බාලයන්ගේ සංසාර ගමනත් බොහෝම දිගයි.
(ජේතවනාරාමයේදී රාජ සේවකයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

05.02.
චරඤ්චේ නාධිගච්ඡෙය්‍ය – සෙය්‍යං සදිසමත්තනෝ
ඒකචරියං දළ්හං කයිරා – නත්ථි බාලේ සහායතා
එක්කො තමන්ට වඩා උසස් කෙනෙක්වයි ආශ‍්‍රයට සොයාගන්න ඕනෙ. එහෙමත් නැත්නම් තමන්ට සමාන ගුණධර්ම තියෙන කෙනෙක්වයි ආශ‍්‍රයට සොයාගන්නට ඕනෙ. එහෙම කෙනෙකුත් සොයාගන්ට නැත්නම්, දැඩි අධිෂ්ඨානයකින් හුදෙකලාවේ තනියම ජීවත්වෙන්ට ඕනෙ. අසත්පුරුෂයන් එක්ක යාළුකම් ඕනෙ නෑ.
(සැවැත් නුවරදී මහාකස්සප තෙරුන්ගේ ගෝලයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

05.03.
පුත්තා මත්ථි ධනම්මත්ථි – ඉති බාලෝ විහඤ්ඤති
අත්තා හි අත්තනෝ නත්ථි – කුතෝ පුත්තා කුතෝ ධනං
“අනේ මට දරුමල්ලො ඉන්නවා. මට සල්ලි බාගෙ තියෙනවා” කියල අඥාන පුද්ගලයා ඒ මත්තේම හැපෙනවා. නමුත්, තමන්ට තමන්වත් නෑ. එහෙම එකේ දරුමල්ලො කොහෙන්ද? සල්ලි බාගෙ කොහෙන්ද?
(සැවැත් නුවරදී ආනන්ද සිටුවරයා අරභයා වදාළ ගාථාවකි ෴)

05.04.
යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං – පණ්ඩිතෝ වා’පි තේන සෝ
බාලෝ ච පණ්ඩිතමානී – ස වේ බාලෝ’ති වුච්චති
යම්කිසි අඥාන පුද්ගලයෙක් තමන්ගේ අඥානකම දන්නවා නම්, ඔහු නුවණැත්තෙක් වෙන්ට හේතු වෙන්නෙ ඒකමයි. අඥාන පුද්ගලයා තමන් ගැන හිතාගෙන ඉන්නෙ මහා නුවණැත්තෙක් කියලා නම්, ඔහු ඒකාන්තයෙන්ම අඥානයෙක් කියලයි කියන්ට තියෙන්නේ.
(ජේතවනාරාමයේදී ගැට කපන්නන් දෙදෙනෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

05.05.
යාවජීවම්පි චේ බාලෝ – පණ්ඩිතං පයිරුපාසති
න සෝ ධම්මං විජානාති – දබ්බී සූපරසං යථා
අඥාන පුද්ගලයෙක් තමන්ගෙ මුළු ජීවිත කාලය පුරාවටම නුවණැති මුනිවරයෙක්ව ඇසුරු කළත්, ඔහු නම් ධර්මය අවබෝධ කරන්නේ නෑ. හොද්දක රසය නොතේරෙන හැන්දක් වගේ.
(ජේතවනාරාමයේදී උදායී තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

05.06.
මුහුත්තමපි චේ විඤ්ඤූ – පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති – ජිව්හා සූපරසං යථා
බුද්ධිමත් පුද්ගලයා සුළු මොහොතකට හරි, නුවණැති මුනිවරයෙක්ව ඇසුරු කළොත්, ඔහු ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නවා. හොද්දක රසය වහාම දැනගන්න දිවක් වගේ.
(ජේතවනාරාමයේදී පාඨෙය්යක භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

05.07.
චරන්ති බාලා දුම්මේධා – අමිත්තේනේව අත්තනා
කරොන්තා පාපකං කම්මං – යං හෝති කටුකප්ඵලං
ප‍්‍රඥාවක් නැති අසත්පුරුෂයෝ ජීවත් වෙන්නේ තමන්ම තමන්ට හතුරුකම් කරමිනුයි. පුළුවන් තරම් පව් කර කර කල් ගෙවනවා. අන්තිමේදී කටුක විපාක විඳින්ට සිද්ධ වෙනවා.
(වේළුවනයේදී සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා අරභයා වදාළ ගාථාවකි ෴)

05.08.
න තං කම්මං කතං සාධු – යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රෝදං – විපාකං පටිසේවති
යම් දෙයක් කළාට පස්සේ, ඒ ගැන පසුතැවෙන්ට සිදුවෙනවා නම්, කදුළු හල හලා, හඬා ඒකේ විපාක විඳින්ට සිදුවෙනවා නම්, එබඳු පව් කරන්ට හොඳ නෑ.
(ජේතවනාරාමයේදී එක්තරා ගොවියෙකු අරභයා වදාළ ගාථාවකි ෴)

05.09.
තඤ්ච කම්මං කතං සාධු – යං කත්වා නානුතප්පති
යස්ස පතීතෝ සුමනෝ – විපාකං පටිසේවති
යම් දෙයක් කළාට පස්සේ, ඒ ගැන පසුතැවිල්ලක් ඇතිවෙන්නෙ නැත්නම්, ඒ පුණ්‍ය විපාකය විඳින්ට තියෙන්නෙ ප‍්‍රීතියෙන් පිනාගිය සතුටු සිතකින් නම්, එවැනි පින් කරගන්න එක කොයි තරම් හොඳ දෙයක්ද.
(ජේතවනාරාමයේදී සුමන මල්කාරයා අරභයා වදාළ ගාථාවකි ෴)

05.10.
මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති
පව්කාරයාට තමන් කරපු පව් විපාක නොදෙනතාක්ම, ඒ පව් කිරීම මී පැණි වගේ කියලයි හිතෙන්නෙ. නමුත් යම් දවසක ඒ පව් පලදෙන්ට පටන් ගත්තහම තමයි ඒ අඥාන පුද්ගලයා දුකට වැටෙන්නේ.
(ජේතවනාරාමයේදී නන්ද මාණවකයා අරභයා වදාළ ගාථාවකි ෴)

05.11.
මාසේ මාසේ කුසග්ගේන – බාලෝ භුඤ්ජේථ භෝජනං
න සෝ සංඛතධම්මානං – කලං අග්ඝති සෝළසිං
අඥාන පුද්ගලයා කෙලෙස් තවනවා කියලා හිතාගෙන, මාසයකට වතාවක්, තණ කොළේක අග තවරපු ආහාර ඩිංගක් අනුභව කළත්, එ්ක ධර්මාවබෝධ කළ රහතන් වහන්සේලාගේ ජීවිතයෙන් දහසයෙන් කොටසක් දහසය වතාවකට බෙදලා ගන්න කොටසක් තරම් වත් වටින්නෙ නෑ.
(ජේතවනාරාමයේදී ජම්බුක ආජීවකයා අරභයා වදාළ ගාථාවකි ෴)

05.12.
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති
ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ
කිරි නම් ඉක්මනට මිදෙනවා තමයි. නමුත් ඒ විදිහට කෙනෙක් කරපු පාප කර්මය ඉක්මනට විපාක දෙන්නෙ නෑ. අළු යට සැඟවෙලා තියෙන ගිනි පුපුරු වගේ තිබිල, නියම වෙලාවට ඒ පාපී පුද්ගලයාව පුච්චමින් පස්සෙන් ලුහුබඳිනවා.
(වේළුවනයේදී පේ‍්‍රතයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

05.13.
යාවදේව අනත්ථාය – ඤත්තං බාලස්ස ජායති
හන්ති බාලස්ස සුක්කංසං – මුද්ධමස්ස විපාතයං
අසත්පුරුෂයාගේ යම් කිසි දැනුමක් ඇත්නම්, ඔහුගේ විනාශය පිණිසමයි ඒක හේතු වෙන්නෙ. අන්තිමේදී ඒ අසත්පුරුෂයා තමන්ගේ හිස් මුදුන වන නුවණත් වනසාගන්නවා. යහපත් ගතිගුණ ටිකක් හරි ඇත්නම්, ඒකත් වනසාගන්නවා. විනාශය කරාම යනවා.
(වේළුවනයේදී පේ‍්‍රතයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

05.14.
අසතං භාවනමිච්ඡෙය්‍ය – පුරෙක්ඛාරඤ්ච භික්ඛුසු
ආවාසේසු ච ඉස්සරියං – පූජා පරකුලේසු ච
අඥාන භික්ෂුව ආස කරන්නෙ ගරු බුහුමන් ලබන්ටමයි. භික්ෂූන් අතරත් මුල් පුටුව ගන්ටමයි කැමති වෙන්නෙ. ස්ථානවල අධිපති වෙන්ටමයි කැමති වෙන්නෙ. දායක පවුල්වලින් පුද පූජා ලබන්ටමයි කැමති වෙන්නෙ.
(ජේතවනාරාමයේදී සුධම්ම තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

05.15.
මමේව කතමඤ්ඤන්තූ – ගිහී පබ්බජිතා උභෝ
මමේව අතිවසා අස්සු – කිච්චාකිච්චේසු කිස්මිචි
ඉති බාලස්ස සංකප්පෝ – ඉච්ඡා මානෝ ච වඞ්ඪති
“මේ ගිහි පැවිදි කවුරුත් හැම දෙයක් ගැනම මගෙන් විතරමයි අහන්ට ඕනෙ. ලොකු කුඩා හැම කටයුත්තකදීම මගෙන් විතරමයි උපදෙස් ගන්න ඕනෙ” කියල හිතන එක තමයි බාලයාගේ සිතුවිල්ල. ඒකෙන්මයි ඔහුගෙ පාපී ආසාවනුත්, මාන්නයත් වැඩෙන්නේ.
(ජේතවනාරාමයේදී සුධම්ම තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

05.16.
අඤ්ඤා හි ලාභූපනිසා - අඤ්ඤා නිබ්බානගාමිනී
එ්වමේතං අභිඤ්ඤාය – භික්ඛු බුද්ධස්ස සාවකෝ
සක්කාරං නාභිනන්දෙය්‍ය – විවේකමනුබ‍්‍රෑහයේ
ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසා උපදවාගන්න එක වෙනත් වැඩපිළිවෙලක්. නිවන් අවබෝධ කරන එක වෙනම වැඩපිළිවෙලක්. බුදු සමිඳුන්ගේ ශ‍්‍රාවක භික්ෂුව ඔය වෙනස හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නේ. එ් නිසා, ඔහු ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසා වලට කැමති වෙන්නෙ නෑ. බණ භාවනා කිරීමට වුවමනා විවේකයමයි ඇතිකරගන්නෙ.
(ජේතවනාරාමයේදී අරණ්‍යවාසී තිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
සාදු! සාදු!! සාදු!!!
අඥාන බාලයා ගැන වදාළ කොටස නිමා විය.
(බාල වග්ගය නිමා විය.)

06. පණ්ඩිත වර්ගය
(නුවණැති සත්පුරුෂයා ගැන වදාළ කොටස)
06.01. නිධීනං’ව පවත්තාරං – යං පස්සේ වජ්ජදස්සිනං
නිග්ගය්හවාදිං මේධාවිං – තාදිසං පණ්ඩිතං භජේ
තදිසං භජමානස්ස – සෙය්‍යෝ හෝති න පාපියෝ නිධානයක් තියෙන තැන පෙන්වා දෙන මිත‍්‍රයෙක් වගේ, නුවණැත්තා අඩුපාඩු දැක්කම, කරුණාවෙන් අවවාද කරලා, වරදෙන් මිදෙන්ට උදව් කරනවා. එබඳු නුවණැති සත්පුරුෂයන්වයි ඇසුරු කළ යුත්තේ. එබඳු උතුමන් ඇසුරු කිරීමෙන් යහපතක් මයි සිදුවෙන්නෙ. අයහපතක් නම් නොවෙයි.
(ජේතවනාරාමයේදී රාධ තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)


06.02.
ඕවදෙය්‍යනුසාසෙය්‍ය – අසබ්භා ච නිවාරයේ
සතං හි සෝ පියෝ හෝති – අසතං හෝති අප්පියෝ
කළ්‍යාණ මිත‍්‍රයා වරදින් මිදෙන්ට අවවාද කරනවා. යහපතේ හැසිරෙන්ට අනුශාසනා කරනවා. පව් වලින් වළක්වාගන්නවා. එබඳු කළ්‍යාණ මිත‍්‍රයන්ව නුවණැති සත්පුරුෂයන්ට හරි ප‍්‍රියයි. නමුත් අසත්පුරුෂයින්ට ඔවුන්ව අප‍්‍රියයි.
(ජේතවනාරාමයේදී අස්සජි පුනබ්බසුක දෙදෙනා අරභයා වදාළ ගාථාවකි ෴)

06.03.
න භජේ පාපකේ මිත්තේ – න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ – භජේථ පුරිසුත්තමේ
පාප මිත‍්‍රයන්ව ඇසුරු කරන්ට එපා. පහත් අදහස් ඇති පුද්ගලයන්වත් ඇසුරු කරන්ට එපා. කළ්‍යාණ මිත‍්‍රයන්ව ඇසුරු කරන්න. සීල, සමාධි, ප‍්‍රඥා ආදී ගුණ දහම් පිරුණු උතුම් පුද්ගලයන්ව ඇසුරු කරන්න.
(ජේතවනාරාමයේදී ඡන්න තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

06.04.
ධම්මපීතී සුඛං සේති – විප්පසන්නේන චේතසා
අරියප්පවේදිතේ ධම්මේ – සදා රමති පණ්ඩිතෝ
ධර්මාවබෝධයෙන් සිත් සතන් පහන් කරගත් නුවණැති පින්වතුන්, ධර්ම ප‍්‍රීතියෙන් යුක්තව සැප සේ කල් ගෙවනවා. ඒ නුවණැති සත්පුරුෂයා, බුද්ධාදී ආර්යයන් වහන්සේලා වදාළ ශ‍්‍රී සද්ධර්මයට හැමදාම ඇළුම් කරනවා.
(ජේතවනාරාමයේදී මහාකප්පින තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

06.05.
උදකං හි නයන්ති නෙත්තිකා – උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා – අත්තානං දමයන්ති පණ්ඩිතා
කුඹුරුවලට වතුර ගෙනියන අය තමන් කැමති විදිහට ඇල වේලි කපාගෙන වතුර ගෙනියනවා. හී වඩුවො හී දඬු නවලා, සකස් කරන්නෙ තමන්ට ඕන විදිහටයි. වඩු බාසුන්නැහේලා ලී දඬු නවලා, ලී බඩු හදන්නෙ තමන්ට ඕනෙ විදිහටයි. නුවණැති උදවිය අන්න ඒ විදිහටයි තමන්ව දමනය කරගන්නේ.
(ජේතවනාරාමයේදී පණ්ඩිත සාමණේරයන් අරභයා වදාළ ගාථාවකි ෴)

06.06.
සේලෝ යථා ඒකඝනෝ – වාතේන න සමීරති
ඒවං නින්දාපසංසාසු – න සමිඤ්ජන්ති පණ්ඩිතා
තනි කළුගල් පර්වතයක්, කොයිතරම් තදින් හුළං හැමුවත් සෙලවෙන්නෙ නෑ. නුවණැති සත්පුරුෂයොත් අන්න ඒ වගේ තමයි. නින්දා ප‍්‍රශංසා වලට සෙලවෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී ලකුණ්ටක භද්දිය තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

06.07.
යථාපි රහදෝ ගම්භීරො - විප්පසන්නෝ අනාවිලෝ
ඒවං ධම්මානි සුත්වාන – විප්පසීදන්ති පණ්ඩිතා
මහා විලක් තියෙනවා. ඒක ගැඹුරුයි. වතුර පෑදිලා තියෙන්නෙ. කැළඹිලා නෑ. අන්න ඒ විදිහමයි. ශ‍්‍රී සද්ධර්මයට සවන් දෙන නුවණැති සත්පුරුෂයෝ ඒ ගැන ගොඩක් පහදිනවා.
(ජේතවනාරාමයේදී කාණමාතාව අරභයා වදාළ ගාථාවකි ෴)

06.08.
සබ්බත්ථ වේ සප්පුරිසා චජන්ති – න කාමකාමා ලපයන්ති සන්තෝ
සුඛේන ඵුට්ඨා අථ වා දුඛේන – නොච්චාවචං පණ්ඩිතා දස්සයන්ති
සත්පුරුෂ උතුමන් හැම දෙයක් ගැනම ඇති ආශාව දුරුකර ගන්නවා. තමන් කැමති දේවල් ලබාගන්න ආසාවෙන්, ඒ ශාන්ත මුනිවරු චාටු බස් දොඩන්නෙ නෑ. ඒ නිසා සැපක් ලැබුණත්, දුකක් ලැබුණත් නුවණැති උතුමන් ඒ සැප දුකට අනුව උස් පහත් වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී හිඟන්නන්ට දොස් නැගූ භික්ෂූන් වහන්සේලා අරභයා වදාළ ගාථාවකි ෴)

06.09.
න අත්තහේතු න පරස්ස හේතු – න පුත්තමිච්ඡේ න ධනං න රට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මේන සමිද්ධිමත්තනෝ – ස සීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා
නුවණැත්තා තමන් සඳහාවත් පව් කරන්නෙ නෑ. අනුන් නිසාවත් පව් කරන්නෙ නෑ. ඔහුට අධාර්මිකව ලැබෙන දූ දරුවො ඕනෙත් නෑ. ධනයක් ඕනෙත් නෑ. කොටින්ම අධාර්මිකව ලැබෙන කිසි දියුණුවකට ඔහු කැමති නෑ. ඇත්තෙන්ම ඔහු සිල්වතෙක්. ප‍්‍රඥාවන්තයෙක් වගේම ධාර්මික කෙනෙක් වෙනවා.
(ජේතවනාරාමයේදී ධම්මික තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

06.10.
අප්පකා තේ මනුස්සේසු – යේ ජනා පාරගාමිනෝ
අථායං ඉතරා පජා – තීරමේවානුධාවති
මේ මනුෂ්‍යයින් අතර සංසාරෙන් එතෙර වෙලා නිවන කරා යන්නෙ ඉතාම ටික දෙනයි. අනික් පෘථග්ජන උදවිය ඔක්කොම ආයෙමත් මේ සංසාරෙට මයි. මෙතෙරටමයි දුවගෙන එන්නෙ.
(ජේතවනාරාමයේදී දහමට සවන් දීම අරභයා වදාළ ගාථාවකි ෴)

06.11.
යේ ච ඛෝ සම්මදක්ඛාතේ – ධම්මේ ධම්මානුවත්තිනෝ
තේ ජනා පාරමෙස්සන්ති – මච්චුධෙය්‍යං සුදුත්තරං
තථාගතයන් වහන්සේ නමක් විසින් ඉතා පිරිසිදුව පවසන ලද බුදු සසුන තුළ යම් කෙනෙක් ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ උදවිය එතෙර වෙන්ට ඉතාමත් දුෂ්කර වූ මේ මාර උගුලෙන් ගැලවෙලා සංසාරෙන් එතෙර වීම වූ නිවන කරාම යනවා.
(ජේතවනාරාමයේදී දහමට සවන් දීම අරභයා වදාළ ගාථාවකි ෴)

06.12.
කණ්හං ධම්මං විප්පහාය – සුක්කං භාවේථ පණ්ඩිතෝ
ඕකා’නෝකං ආගම්ම – විවේකේ යත්ථ දුරමං
නුවණැති පුද්ගලයා අකුසල් දුරුකරනවා. ඒ වගේම ඔහු කුසලුත් වඩන්ට ඕනෙ. ඊට පස්සේ ගිහි ජීවිතේ අත්හැරලා අනගාරික සාසනයටත් ඇතුළු වෙනවා. සාමාන්‍ය ජනතාවට අමාරු හුදෙකලා විවේකය තියෙනවා.


06.13.
තත‍්‍රාභිරතිමිච්ඡෙය්‍ය – හිත්වා කාමේ අකිඤ්චනෝ
පරියෝදපෙය්‍ය අත්තානං – චිත්තක්ලේසේහි පණ්ඩිතෝ
අන්න ඒ විවේකයට ඇලී සිටීමටයි ඔහු කැමති වෙන්නෙ. කාමයන් අත්හැරලා, නිකෙලෙස් ජීවිතයක් කරා යන ඒ නුවණැත්තා තමන්ගේ සිත කෙලෙස් වලින් ඉවත් කරගෙන පිරිසිදු කරගන්නවා.
(ජේතවනාරාමයේදී පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවන්ය ෴)

06.14.
යේසං සම්බෝධිඅංගේසු – සම්මා චිත්තං සුභාවිතං
ආදානපටිනිස්සග්ගේ – අනුපාදාය යේ රතා
ඛීණාසවා ජුතීමන්තෝ – තේ ලෝකේ පරිනිබ්බුතා.
යම් කෙනෙකුගේ සිත බොජ්ඣංග ධර්ම තුළ ඉතා හොඳින් දියුණු වෙලා තියෙනවා නම්, සියළු බැඳීම් දුරුකරලා, උපාදාන රහිත වූ අමා නිවනේම ඇලී තියෙනවා නම්, ආස‍්‍රවයන් ක්ෂය කරපු ඒ රහතන් වහන්සේලා නුවණින් බබලනවා. උන්වහන්සේලා තමයි මේ ලෝකෙ පිරිනිවන් පාන්නේ.
(ජේතවනාරාමයේදී පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)
සාදු! සාදු!! සාදු!!!
නුවණැති සත්පුරුෂයා ගැන වදාළ කොටස නිමා විය.
(පණ්ඩිත වග්ගය නිමා විය.)

07. අරහන්ත වර්ගය
(රහතන් වහන්සේ ගැන වදාළ කොටස)
07.01.
ගතද්ධිනෝ විසෝකස්ස – විප්පමුත්තස්ස සබ්බධි
සබ්බගන්ථප්පහීණස්ස – පරිළාහෝ න විජ්ජති රහතන් වහන්සේ සසර ගමන අවසන් කරලයි ඉන්නෙ. ශෝක රහිතවයි ඉන්නෙ. හැම දේකින්ම මුළුමනින්ම නිදහස් වෙලයි ඉන්නෙ. හැම කෙලෙස් ගැටයක්ම නැති කරලයි ඉන්නෙ. ඒ නිසා උන්වහන්සේ තුළ කිසි කෙලෙස් දාහයක් නෑ.
(ජීවක අම්බවනයේදී ජීවක අරභයා වදාළ ගාථාවකි ෴)

07.02.
උය්‍යුඤ්ජන්ති සතීමන්තෝ – න නිකේතේ රමන්ති තේ
හංසා’ව පල්ලලං හිත්වා – ඕකමෝකං ජහන්ති තේ
ඒ රහතන් වහන්සේලා සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවාගෙනමයි ඉන්නෙ. සමථ – විදර්ශනාවේ මයි නැවත නැවත යෙදෙන්නෙ. සිව්පසයට හිත ඇලෙන්නෙ නෑ. ඒ නිසා උන්වහන්සේලා වැඩසිටින හැම තැනක්ම අත්හැරලා බැඳීම රහිත සිතින් පිටත්වෙලා යන්නෙ විල අත්හැරලා පියඹා යන හංසයන් වගේ.
(වේළුවනයේදී මහා කස්සප තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

07.03.
යේසං සන්නිචයෝ නත්ථි – යේ පරිඤ්ඤාතභෝජනා
සුඤ්ඤතෝ අනිමිත්තෝ ච – විමොක්ඛෝ යේස ගෝචරෝ
අකාසේ’ව සකුන්තානං – ගති තේසං දුරන්නයා
ඒ රහතන් වහන්සේලා තුළ සිව්පසය රැස් කිරීමක් නෑ. වළඳින දානයේ යථාර්ථය උන්වහන්සේලා දන්නවා. උන්වහන්සේලාට ශුන්‍යතා සමාපත්තියත්, අනිමිත්ත සමාපත්තියත් නිවනත් අරමුණු වෙලයි තියෙන්නෙ. අහසේ පියඹා ගිය කුරුල්ලන්ගේ ගමන් මග කාටවත් දකින්නට බෑ. ඒ වගේම ඒ රහතුන් වැඩිය මගත් කාටවත් දකින්නට බෑ.
(ජේතවනාරාමයේදී බේලට්ඨිසීස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

07.04.
යස්සාසවා පරික්ඛීණා – ආහාරේ ච අනිස්සිතෝ
සුඤ්ඤතෝ අනිමිත්තෝ ච – විමොක්ඛෝ යස්ස ගෝචරෝ
ආකාසේ’ව සකුන්තානං – පදං තස්ස දුරන්නයං
ඒ රහතන් වහන්සේලා සියලූ කෙලෙස් නැතිකරලයි ඉන්නෙ. වළඳන දානෙ ගැන සිතේ ඇල්මක් නෑ. සුඤ්ඤත සමාපත්තියත්, අනිමිත්ත සමාපත්තියත්, නිවනත් අරමුණු වෙලයි ඉන්නෙ. අහසේ පියාඹා ගිය කුරුල්ලන්ගේ පා සටහන් කාටවත් දැකගන්නට බෑ. ඒ වගේම නිවනට වඩින රහතුන්ගේ පිය සටහන් කාටවත් දැකගන්ට බෑ.
(වේළුවනයේදී අනුරුද්ධ තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

07.05.
යස්සින්ද්‍රියානි සමථං ගතානි – අස්සා යථා සාරථිනා සුදන්තා
පහීණමානස්ස අනාසවස්ස – දේවා’පි තස්ස පිහයන්ති තාදිනෝ
දක්ෂ රියදුරෙක් විසින් ඉතා හොඳට හීලෑ කරපු අශ්වයන් වගේ, යම් කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියයන් හොඳට හීලෑ කරගත්තා නම්, මාන්නය නැතිකරපු, කෙලෙස් නැතිකරපු, අකම්පිත සිත් ඇති එ් රහතන් වහන්සේට දෙවියන් පවා කැමතියි.
(පූර්වාරාමයේදී මහා කච්චාන තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

07.06.
පඨවිසමෝ නෝ විරුජ්ඣති – ඉන්දඛීලූපමෝ තාදි සුබ්බතෝ
රහදෝ’ව අපේතකද්දමෝ – සංසාරා න භවන්ති තාදිනෝ
රහතන් වහන්සේ කා එක්කවත් විරුද්ධ වෙන්නෙ නෑ. මහ පොළොව වගෙයි. අටලෝ දහමින් කම්පා වෙන්නෙ නෑ. ඉන්ද්‍රඛීලයක් වගේ යහපත් සීලයකින් යුක්තයි. මඩ නැති විලක් වගේ. එබඳු රහතන් වහන්සේට සංසාර ගමනක් නෑ.
(ජේතවනාරාමයේදී සැරියුත් තෙරුන් අරභයා වදාළ ගාථාවකි. ෴)

07.07.
සන්තං තස්ස මනං හෝති – සන්තා වාචා ච කම්ම ච
සම්මදඤ්ඤා විමුත්තස්ස – උපසන්තස්ස තාදිනෝ
රහතන් වහන්සේට තියෙන්නෙ නිවී සැනසී ගිය හදවතක්. උන්වහන්සේගේ වචනත් නිවිලා තියෙන්නෙ. කයත් නිවිල තියෙන්නෙ. අවබෝධයෙන්ම දුකින් නිදහස් වුණ, උපශාන්ත සිත් ඇති රහතන් වහන්සේ එහෙම තමයි.
(ජේතවනාරාමයේදී තිස්ස තෙරුන්ගේ සාමණේර ශිෂ්‍යයා අරභයා වදාළ ගාථාවකි ෴)

07.08.
අස්සද්ධෝ අකතඤ්ඤූ ච – සන්ධිච්ඡේදෝ ච යෝ නරෝ
හතාවකාසෝ වන්තාසෝ – ස වේ උත්තමපෝරිසෝ
යම් කෙනෙක් ඇදහීම ඉක්මවා ගිහින්, ප‍්‍රත්‍යක්ෂයට පැමිණුනා නම්, පංච උපාදානස්ඛන්ධයට කෙලෙහි ගුණ සලකන්නේ නැත්නම්, පටිච්ච සමුප්පාදයේ පුරුක් කඩලා දැම්මා නම්, උපදින්ට තියෙන හැම අවස්ථාවක්ම නැති කළා නම්, කෙලෙස් වමනෙ දැම්ම නම්, ඇත්ත වශයෙන්ම ඔහු උතුම් මනුෂ්‍යයෙක්.
(ජේතවනාරාමයේදී සැරියුත් තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

07.09.
ගාමේ වා යදි වා රඤ්ඤේ – නින්නේ වා යදි වා ථලේ
යත්ථා’රහන්තෝ විහරන්ති – තං භූමිං රාමණෙය්‍යකං
ගමක වේවා, වනාන්තරයක වේවා, නිම්නයක වේවා. කඳු ගැටයක වේවා, රහතන් වහන්සේලා යම් තැනක වැඩඉන්නවා නම්, ඒ බිම ඇත්තෙන්ම සුන්දරයි.
(ජේතවනාරාමයේදී ඛදිරවනීය රේවත තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

07.10.
රමණීයානි අරඤ්ඤානි – යත්ථ න රමතී ජනෝ
වීතරාගා රමිස්සන්ති – න තේ කාමගවේසිනෝ
මහ වනාන්තර හරිම ලස්සනයි. ඒ වුණාට කම් සැප හොයන ජනයා ඒ වනයට ඇලෙන්නෙ නෑ. වීතරාගී වූ රහතන් වහන්සේලා නම් මහ වනයට හරි කැමතියි. උන්වහන්සේලා කම් සැප හොයන්නෙ නැති නිසයි එහෙම වුණේ.
(ජේතවනාරාමයේදී එක්තරා ස්ත‍්‍රියක් අරභයා වදාළ ගාථාවකි ෴)
සාදු! සාදු!! සාදු!!!
රහතන් වහන්සේ ගැන වදාළ කොටස නිමා විය.
(අරහන්ත වග්ගය නිමා විය.)


08. සහස්ස වර්ගය
(දහස ගැන වදාළ කොටස)
08.03.
යෝ චේ ගාථාසතං භාසේ – අනත්ථපදසංහිතා
ඒකං ධම්මපදං සෙය්‍යෝ – යං සුත්වා උපසම්මති යම් කෙනෙක් මෙලොව, පරලොව අයහපත ඇතිකරන ශ්ලෝක සියයක් කිව්වත් වැඩක් නෑ. යම් ධම්මපදයක් අහලා ජීවිතය සංසිඳෙනවා නම්, අන්න ඒ එකම ධම්මපදය තමයි උතුම්.
(ජේතවනාරාමයේදී කුණ්ඩලකේසී තෙරණිය අරභයා වදාළ ගාථාවකි ෴)

08.04.
යෝ සහස්සං සහස්සේන – සංගාමේ මානුසේ ජිනේ
එකඤ්ච ජෙය්‍ය අත්තානං – ස වේ සංගාමජුත්තමෝ
යම් කෙනෙක් යුද්ධ දාහක් කරලා, දහස් ගණන් මිනිසුන්ව පරදවා, ජයග‍්‍රහණය කළත්, එ්ක නියම ජයග‍්‍රහණයක් නොවෙයි. නමුත් යම් කෙනෙක් මේ කෙලෙස් යුද්ධයෙන් තමන්ව දිනාගත්තොත්, ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම අර සියලු යුද්ධ දිනපු කෙනාට වඩා උත්තම කෙනෙක් වෙනවා.
(ජේතවනාරාමයේදී කුණ්ඩලකේසී තෙරණිය අරභයා වදාළ ගාථාවකි ෴)

08.05.
අත්තා හවේ ජිතං සෙය්‍යෝ – යා චායං ඉතරා පජා
අත්තදන්තස්ස පෝසස්ස – නිච්චං සඤ්ඤතචාරිනෝ
ඇත්ත වශයෙන්ම තමන්ව ජයගැනීමමයි උතුම් වෙන්නේ. අනික් ජනයා මොන දේවල් වලින් ජය ගත්තත්, ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ. තමාව දමනය කරගෙන, නිතරම ඉන්ද්‍රිය සංවරයෙන් සිටින පුද්ගලයාටයි ජයග‍්‍රහණය ලැබෙන්නෙ.
(ජේතවනාරාමයේදී එක්තරා බ‍්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

08.06.
නේව දේවෝ න ගන්ධබ්බෝ – න මාරෝ සහ බ‍්‍රහ්මුනා
ජිතං අපජිතං කයිරා – තථාරූපස්ස ජන්තුනෝ
දෙවියෙකුටවත්, එබඳු පුද්ගලයෙකුගේ ජයග‍්‍රහණය වළක්වන්ට බෑ. ගාන්ධර්වයෙකුටවත්, බ‍්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත්, ඒ ජයග‍්‍රහණය වළක්වන්ට බෑ.
(ජේතවනාරාමයේදී එක්තරා බ‍්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

08.07.
මාසේ මාසේ සහස්සේන – යෝ යජේථ සතං සමං
ඒකඤ්ච භාවිතත්තානං – මුහුත්තමපි පූජයේ
සා යේව පූජනා සෙය්‍යා – යඤ්චේ වස්සසතං හුතං
දහස් ගණන් වියදම් කරගෙන, මාසයක් ගානෙ යාග කළත්, අවුරුදු සියයක් මුළුල්ලේ යාග කළත්, සිත දියුණු කරගත් රහතන් වහන්සේ නමකට එක් මොහොතක පුද පූජාවක් කළොත්, අර සියක් අවුරුදු මුළුල්ලේ කරපු යාගෙට වඩා මොහොතකට කළ මේ පූජාවයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ.
(වේළුවනාරාමයේදී සැරියුත් තෙරුන්ගේ මාමා අරභයා වදාළ ගාථාවකි ෴)

01.08.
යෝ ච වස්සසතං ජන්තු – අග්ගිං පරිචරේ වනේ
ඒකඤ්ච භාවිතත්තානං – මුහුත්තමපි පූජයේ
සා යේව පූජනා සෙය්‍යා – යඤ්චේ වස්සසතං හුතං
යම් පුද්ගලයෙක් මහ වනයක ඉඳගෙන සියක් අවුරුදු මුළුල්ලේ ගිනි පූජාවන් කර කර ඉන්නවට වඩා සිත දියුණු කරගත් එක රහතන් වහන්සේ නමකට මෙහොතක් පුද පූජාවන් කළොත්, අවුරුදු සියයක් මුළුල්ලේ කරන අර ගිනි පූජාවට වඩා මොහොතකට කළ මේ පූජාවයි ශ්‍රේෂ්ඨ වන්නේ.
(වේළුවනාරාමයේදී සැරියුත් තෙරුන්ගේ සොහොයුරෙකු අරභයා වදාළ ගාථාවකි ෴)

08.09.
යං කිඤ්චි යිට්ඨං ව හුතං ව ලෝකේ – සංවච්ඡරං යජේථ පුඤ්ඤපෙක්ඛෝ
සබ්බම්පි තං න චතුභාගමේති – අභිවාදනා උජ්ජුගතේසු සෙය්‍යා
පින් කැමති කෙනෙක් මේ ලෝකෙ අවුරුද්දක් ගානෙ මහා යාග, පොඩි යාග ආදී මහ දන් දුන්නත්, ඍජු මග ගමන් කරපු රහතන් වහන්සේලාට කරන වන්දනාවකින් හතරෙන් පංගුවක් තරම්වත් ඒක වටින්නෙ නෑ. රහතන් වහන්සේලාට කරන වන්දනාවම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ.
(වේළුවනාරාමයේදී සැරියුත් තෙරුන්ගේ යහළු බ‍්‍රාහ්මණයෙකු අරභයා වදාළ ගාථාවකි ෴)

08.10.
අභිවාදනසීලිස්ස – නිච්චං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඞ්ඪන්ති – ආයු වණ්ණෝ සුඛං බලං
සිල්වත් උතුමන්ට වන්දනා කරනවා නම්, ගුණයෙන්, නුවණින් වැඩිහිටියන්ට නිතර සළකනවා නම්, ඔහු තුළ ආයුෂ, වර්ණය, සැපය, බලය යන මේ ගුණ හතරම වැඩෙනවා.
(දීඝලම්බක වනයේදී දීඝායු කුමරු අරභයා වදාළ ගාථාවකි ෴)

08.11.
යෝ ච වස්සසතං ජීවේ – දුස්සීලෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – සීලවන්තස්ස ඣායිනෝ
යම් කෙනෙක් දුස්සීලව, චිත්ත සමාධියක් නැතුව, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා, සිල්වත් වෙලා, ධ්‍යාන වඩමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.
(ජේතවනාරාමයේදී සංකිච්ච සාමණේරයන් අරභයා වදාළ ගාථාවකි ෴)

08.12.
යෝ ච වස්සසතං ජීවේ – දුප්පඤ්ඤෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පඤ්ඤවන්තස්ස ඣායිනෝ
යම් කෙනෙක් ප‍්‍රඥාවකුත් නැතිව, චිත්ත සමාධියකුත් නැතුව, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා, ප‍්‍රඥාව ඇති කරගෙන සමථ විදර්ශනා වඩමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.
(ජේතවනාරාමයේදී ඛාණුකොණ්ඩඤ්ඤ තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

08.13.
යෝ චේ වස්සසතං ජීවේ – කුසීතෝ හීනවීරියෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – විරියමාරභතෝ දළ්හං
යම් කෙනෙක් නිවන් මගේ හැසිරෙන්ට උත්සාහයක් නැතිව, සමථ විදර්ශනා වඩන්නට වීරියක් නැතිව, අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, දැඩි වීරියකින් යුක්තව, සමථ විදර්ශනා වඩමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.
(ජේතවනාරාමයේදී සප්පදාස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

08.14.
යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං උදයව්‍යයං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ උදයව්‍යයං
යම් කෙනෙක් පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත්, නැතිවීමත් විදර්ශනා ප‍්‍රඥාවෙන් නොදැක, අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකිමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.
(ජේතවනාරාමයේදී පටාචාරා තෙරණිය අරභයා වදාළ ගාථාවකි ෴)

08.15.
යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං අමතං පදං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ අමතං පදං
යම් කෙනෙක් ඒ අමා නිවන අවබෝධ නොකොට, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා ඒ අමා නිවන අවබෝධ කරගෙන, එක දවසක් ජීවත්වීම ශ්‍රේෂ්ඨයි.
(ජේතවනාරාමයේදී කිසාගෝතමී අරභයා වදාළ ගාථාවකි ෴)

08.16.
යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං ධම්මමුත්තමං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ ධම්මමුත්තමං
යම් කෙනෙක් මේ උතුම් ධර්මය අවබෝධ නො කොට අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.
(ජේතවනාරාමයේදී බහුපුත්ත තෙරණිය අරභයා වදාළ ගාථාවකි ෴)
සාදු! සාදු!! සාදු!!!
දහස ගැන වදාළ කොටස නිමා විය.
(සහස්ස වග්ගය නිමා විය.)


09. පාප වර්ගය
(පව් ගැන වදාළ කොටස)
09.01.
අභිත්ථරේථ කල්‍යාණේ – පාපා චිත්තං නිවාරයේ
දන්ධං හි කරෝතෝ පුඤ්ඤං – පාපස්මිං රමතී මනෝ දාන, සීල, භාවනා ආදී යහපත් පින්කම් ඉක්මනට කරගන්නට ඕනෙ. එ් වගේම පාපයෙන් හිත වළක්වගන්ටත් ඕන. ඕනකමක් නැතුව, පමා වෙවී පින් කරගන්ට ගියොත්, තමන්ටත් නොදැනීම පව් වලට හිත ඇලෙනවා.
(ජේතවනාරාමයේදී චූලේකසාටක අරභයා වදාළ ගාථාවකි ෴)

09.02.
පාපං චේ පුරිසෝ කයිරා – නං තං කයිරා පුනප්පුනං
න තම්හි ඡන්දං කයිරාථ – දුක්ඛෝ පාපස්ස උච්චයෝ
යම්කිසි පුද්ගලයෙක් නො තේරුම්කමකින් සිත, කය, වචනය කියන තුන් දොරින් යම් පවක් කළොත්, ආයෙ ආයෙමත් නම් ඒ පාපය කරන්ට එපා. එබඳු පව් ගැන හිතේ කැමැත්තක්වත් ඇතිකරගන්ට එපා. “දුක” කියල කියන්නෙ පවටම යි.
(ජේතවනාරාමයේදී සෙය්‍යසක තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

09.03.
පුඤ්ඤං චේ පුරිසෝ කයිරා – කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ – සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ
යම්කිසි පුද්ගලයෙක් ශ‍්‍රද්ධාවෙන් යුක්තව, සිත, කය, වචනය යන තුන් දොරින් පින් කළොත්, ආයෙ ආයෙමත් කරගන්න ඕන වෙන්නෙ ඒ පිනමයි. පින් කිරීම ගැනමයි හිතේ කැමැත්ත ඇතිකරගන්න ඕන. “සැප” කියල කියන්නෙ පිනටමයි.
(ජේතවනාරාමයේදී ලාජා දෙව්දුව අරභයා වදාළ ගාථාවකි ෴)

09.04.
පාපෝ’පි පස්සති භද්‍රං – යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං – අථ පාපෝ පාපානි පස්සති
කරගත්තු පව් විපාක නොදී තියෙන කල් විතරයි. ඒ පුද්ගලයාට ඒ පව් ලස්සන දෙයක් වගේ පේන්නෙ. නමුත් විපාක දෙන්න පටන්ගත්තු දවසට තමයි එ් පව්වල හැබෑ ස්වභාවය ඒ පාපී පුද්ගලයාට පේන්නේ.
(ජේතවනාරාමයේදී අනේපිඬු සිටුතුමාගේ මාලිගයේ සිටි දෙව්දුව අරභයා වදාළ ගාථාවකි ෴)

09.05.
භද්‍රෝ’පි පස්සති පාපං – යාව භද්‍රං න පච්චති
යදා ච පච්චති භද්‍රං – අථ භද්‍රෝ භද්‍රානි පස්සති
කරගත්තු පින් විපාක නොදී තියෙන කල් විතරයි ඒ පුද්ගලයාට පාඩුව පේන්නේ. නමුත් විපාක දෙන්න පටන්ගත්තු දවසට තමයි ඒ පිනේ හැබෑ ස්වභාවය අඳුනගන්නේ.
(ජේතවනාරාමයේදී අනේපිඬු සිටුතුමාගේ මාලිගයේ සිටි දෙව්දුව අරභයා වදාළ ගාථාවකි ෴)

09.06.
මා’වමඤ්ඤේථ පාපස්ස – න මන්තං ආගමිස්සති
උදබින්දුනිපාතේන – උදකුම්භෝ’පි පූරති
පූරති බාලෝ පාපස්ස – ථෝකථෝකම්පි ආචිනං
“ඕක ඉතින් පොඩි පවක් නෙ” කියලා තමන්ට විපාක දෙන්ට තමා කරා එන්නෙ නෑ කියලා ගණන් නොගෙන ඉන්ට එපා. වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කලයක් පිරෙන්නෙ. අඥාන පුද්ගලයාත් ටික ටික වුණත් පව් කරන කොට, ඒ පව් එකතුවෙලා අන්තිමේදී ජීවිතය පව් වලින්ම පිරිලා යනවා.
(ජේතවනාරාමයේදී සඟසතු දේ ගැන නොසැළකිලිමත් වූ භික්ෂුවක් උදෙසා වදාළ ගාථාවකි ෴)

09.07.
මා’වමඤ්ඤේථ පුඤ්ඤස්ස - න මං තං ආගමිස්සති
උදබින්දුනිපාතේන – උදකුම්භෝ’පි පූරති
පූරති ධීරෝ පුඤ්ඤස්ස – ථෝකථෝකම්පි ආචිනං
“ඕක ඉතින් පොඩි පිනක් නෙ” කියලා තමන්ට විපාක දෙන්ට තමා කරා එන්නෙ නෑ කියලා ගණන් නොගෙන ඉන්ට එපා. වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කලයක් පිරෙන්නෙ. බුද්ධිමත් පුද්ගලයාත් ටික ටික වුණත් පින් කරන කොට, ඒ පින් එකතුවෙලා අන්තිමේදී ජීවිතය පිනෙන්ම පිරිලා යනවා.
(ජේතවනාරාමයේදී බිළාල පාදක සිටුතුමා අරභයා වදාළ ගාථාවකි ෴)

09.08.
වාණිජෝ’ව භයං මග්ගං – අප්පසත්ථෝ මහද්ධනෝ
විසං ජීවිතුකාමෝ’ව – පාපානි පරිවජ්ජයේ
හොඳට මිළ මුදල් තියෙන වෙළෙන්දෙකුට සේවකයන් ටික දෙනයි නම් ඉන්නෙ, ඔහු භයානක ගමන් බිමන් අත්හරිනවා. ජීවත්වෙන්ට ආස කෙනා භයානක වස විස වර්ග ආහාරයට ගන්නෙ නෑ. ඒ විදිහට හැම පවක්ම දුරු කළ යුතුයි.
(ජේතවනාරාමයේදී මහාධන වෙළෙන්ඳා අරභයා වදාළ ගාථාවකි ෴)

09.09.
පාණිම්හි චේ වණෝ නාස්ස – හරෙය්‍ය පාණිනා විසං
නාබ්බණං විසමන්වේති – නත්ථි පාපං අකුබ්බතෝ
අතේ තුවාලයක් නැත්නම්, ඒ අතින් ඕනෑම වසක් විසක් වුණත් අරගෙන යන්ට පුළුවනි. අතේ තුවාලයක් නැති නිසා ඒ විස ශරීරයට ඇතුළු වෙන්නෙ නෑ. අන්න ඒ වගේම පව් නොකරන කෙනෙකුට විපාක දෙන්ට පාපයක් නෑ.
(වේළුවනාරාමයේදී කුක්කුටමිත්ත වැද්දා අරභයා වදාළ ගාථාවකි ෴)

09.10.
යෝ අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති - සුද්ධස්ස පෝසස්ස අනංගණස්ස
තමේව බාලං පච්චේති පාපං – සුඛුමෝ රජෝ පටිවාතං’ව ඛිත්තෝ
කාටවත් අපරාධයක් නොකරන, නිකෙලෙස්, පිරිසිදු කෙනෙකුට කව්රුහරි අපරාධයක් කළොත්, උඩු හුළඟට දාපු සියුම් දූවිල්ලක් ආපසු තමන් කරාම එනව වගේ, ඒ අඥාන පුද්ගලයා කරාම නපුරු විපාක ගමන් කරනවා.
(ජේතවනාරාමයේදී කෝක වැද්දා අරභයා වදාළ ගාථාවකි ෴)

09.11.
ගබ්භමේ’කේ උප්පජ්ජන්ති – නිරයං පාපකම්මිනෝ
සග්ගං සුගතිනෝ යන්ති – පරිනිබ්බන්ති අනාසවා
සමහර කෙනෙක් ආයෙමත් ගර්භාෂයක උපදිනවා. පව් කරගත්තු උදවිය නිරයේ උපදිනවා. පින් කරගත්තු උදවිය සුගතියෙ උපදිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරපු මුනිවරු ආස‍්‍රව නැතිකරලා පිරිනිවන් පානවා.
(මණිකාර කුලූපගතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

09.12.
න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ - න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සෝ ජගතිප්පදේසෝ - යත්ථට්ඨිතෝ මුච්චෙය්‍ය පාපකම්මා
යම් තැනක සැඟවිලා, පව්වල විපාකයෙන් ගැලවෙන්න පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නෑ. මුහුද මැදත් නෑ. කන්දක් අස්සෙ ගුහාවක හැංගුනත් නෑ. එබඳු තැනක් ලෝකේ කොහේවත් නෑ.
(ජේතවනාරාමයේදී භික්ෂූන් තුන් නමක් අරභයා වදාළ ගාථාවකි ෴)

09.13.
න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ - න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්පදේසෝ - යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු
යම් තැනක සැඟවිලා මරණයෙන් ගැලවෙන්ට පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නෑ. මුහුද මැදත් නෑ. කන්දක් අස්සෙ ගුහාවක හැංගුනත් නෑ. එබඳු තැනක් ලෝකේ කොහේවත් නෑ.
(නිග්‍රෝධාරාමයේදී සුප්පබුද්ධ ශාක්‍ය රජු අරභයා වදාළ ගාථාවකි ෴)
සාදු! සාදු!! සාදු!!!
පව් කිරීම ගැන වදාළ කොටස නිමා විය.
(පාප වග්ගය නිමා විය.)

10. දණ්ඩ වර්ගය
(දඬුවම් ගැන වදාළ කොටස)
10.01.
සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා – න හනෙය්‍ය න ඝාතයේ දඬුවම් විඳින්ට හැම කෙනෙක්ම බයයි. මරණයටත් හැම කෙනෙක්ම බයයි. ඒ නිසා තමන්ව උපමාවට අරගෙන, කිසි සතෙක්ව මරන්ටත් එපා. මරවන්ටත් එපා.
(ජේතවනාරාමයේදී ඡබ්බග්ගිය භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

10.02.
සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා – න හනෙය්‍ය න ඝාතයේ
දඬුවම් විඳින්ට හැම කෙනෙක්ම බයයි. හැම කෙනෙකුටම තමන්ගෙ ජීවිතය ප‍්‍රියයි. ඒ නිසා තමන්ව උපමාවට අරගෙන කිසි සතෙක්ව මරන්ටත් එපා. මරවනන්ටත් එපා.
(ජේතවනාරාමයේදී ඡබ්බග්ගිය භික්‍ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

10.03.
සුඛකාමානි භූතානි – යෝ දණ්ඩේන විහිංසති
අත්තනෝ සුඛමේසානෝ – පෙච්ච සෝ න ලභතේ සුඛං
හැම සත්වයෙක්ම සැප විඳින්ට කැමතියි. ඉතින් තමන්ගේ සැප හොයන්ට ගිහින් වෙන සතුන්ට දඬු මුගුරු වලින් හිංසා කළොත් ඔහුට පරලොවදී සැපක් නම් ලැබෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී කුඩා දරුවන් පිරිසක් අරභයා වදාළ ගාථාවකි ෴)

10.04.
සුඛකාමානි භූතානි – යෝ දණ්ඬේන න හිංසති
අත්තනෝ සුඛමේසානෝ – පෙච්ච සෝ ලභතේ සුඛං
හැම සත්වයෙක්ම සැප විඳින්ට කැමතියි. ඒ බව දැනගෙන, තමන්ගෙ සැප උදෙසා, අනිත් සතුන්ට දඬු මුගුරු වලින් හිංසා නොකරයි නම්, පරලොවදී ඔහුට සැප ලැබෙනවා.
(ජේතවනාරාමයේදී කුඩා දරුවන් පිරිසක් අරභයා වදාළ ගාථාවකි ෴)

10.05.
මා’වෝච ඵරුසං කඤ්චි – වුත්තා පටිවදෙය්‍යු තං
දුක්ඛා හි සාරම්භකථා – පටිදණ්ඩා ඵුසෙය්‍යු තං
කාටවත්ම නපුරු වචන කියන්ට එපා. නපුරු වචන කියන්ට ගියොත් අනිත් උදවිය ඔබට පෙරලා, නපුරු වචන කියාවි. රණ්ඩු ඇතිවෙන කතා බස් ඇති කරගැනීම දුකක්. එයින් ඔබටමයි පෙරළා කරදර වෙන්නෙ.
(ජේතවනාරාමයේදී කුණ්ඩධාන තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

10.06.
ස චේ නේරේසි අත්තානං – කංසෝ උපහතෝ යථා
ඒස පත්තෝ’සි නිබ්බාණං – සාරම්භෝ තේ න විජ්ජති
ශබ්දය හටගන්න ලෝහ බඳුනක් කඩලා දැම්මා වගේ වචනය සංවර කරගෙන, තමන්ගේ ජීවිතය නිශ්ශබ්ද කරගත්තොත්, තමන් තුළම නිවිලා යනවා. එතකොට ආරවුල් හටගන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී කුණ්ඩධාන තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

10.07.
යථා දණ්ඬේන ගෝපාලෝ – ගාවෝ පාචේති ගෝචරං
ඒවං ජරා ච මච්චු ච – ආයුං පාචෙන්ති පාණිනං
ගොපල්ලෙක් කෙවිටෙන් පහර දිදී – හරකුන්ව ගොදුරු බිමට දක්කනවා වගේ, මේ ජරා – මරණ දෙකත් එ් විදිහටම සත්වයන්ගේ ආයුෂ අවසන් කරලා දානවා.
(පූර්වාරාමයේදී පොහෝ දින සිල් ගැනීම අරභයා වදාළ ගාථාවකි ෴)

10.08.
අථ පාපානි කම්මානි – කරං බාලෝ න බුජ්ඣති
සේහි කම්මේහි දුම්මේධෝ – අග්ගිදඞ්ඪෝ’ව තප්පති
අඥාන පුද්ගලයා කොච්චර පව් කෙරුවත්, ඒකෙ බරපතලකම තේරුම් ගන්නෙ නෑ. අන්තිමේදී ඒ ප‍්‍රඥා රහිත පුද්ගලයා තමන්ගේම කර්මයෙන් හටගත් විපාක වලින් දුක් විඳිනවා. ගින්නෙන් පිච්චෙන කෙනෙක් වගේ.
(වේළුවනාරාමයේදී අජඝර පේ‍්‍රතයා අරභයා වදාළ ගාථාවකි ෴)

10.09.
යෝ දණ්ඩේන අදණ්ඩේසු – අප්පදුට්ඨේසු දුස්සති
දසන්නමඤ්ඤතරං ඨානං – ඛිප්පමේව නිගච්ඡති
දඬු මුගුරු රහිත, හැම සතුන් කෙරෙහි මෙත් වඩන, රහතන් වහන්සේ කෙනෙකුට යමෙක් දුෂ්ට සිතින් පීඩා කළොත්, මේ දස වැදෑරුම් කරදර වලින් එකකට ඉක්මනටම මුහුණ දෙන්ට ඒ පුද්ගලයාට සිදුවෙනවා.


10.10.
වේදනං ඵරුසං ජානිං – සරීරස්ස ච භේදනං
ගරුකං වාපි ආබාධං – චිත්තක්ඛේපං ව පාපුණේ
එක්කෝ දරුණු ශාරීරික වේදනාවලට භාජනය වෙන්ට වෙනවා. එහෙම නැත්නම්, අත පය හෝ කැඩෙනවා. එක්කෝ දරුණු රෝග වැළඳෙනවා. එක්කෝ සිහිය විකල් වෙනවා.


10.11.
රාජතෝ වා උපස්සග්ගං – අබ්භක්ඛානං ව දාරුණං
පරික්ඛයං ව ඤාතීනං – භෝගානං ව පභංගුරං
එක්කෝ රජවරුන්ගේ උදහසට ලක්වෙනවා. එහෙමත් නැත්නම් අපරාධවලට දරුණු ලෙස චෝදනාවට ලක්වෙනවා. එක්කෝ නෑදෑයෝ පවා අහිමි වෙනවා. ධන සම්පත් හරි විනාශ වෙලා යනවා.


10.12.
අථ වාස්ස අගාරානි – අග්ගි ඩහති පාවකෝ
කායස්ස භේදා දුප්පඤ්ඤෝ – නිරයං සෝ උපපජ්ජති
එ් වගේම ගෙවල් දොරවල් ගින්නට අහුවෙනවා. ඒ මෝඩ තැනැත්තා මැරුණට පස්සේ නිරයේ ගිහින් උපදිනවා.
(වේළුවනාරාමයේදී මුගලන් තෙරුන්ට පහර දුන් සොරුන් අරභයා වදාළ ගාථාවන්ය ෴)

10.13.
න නග්ගචරියා න ජටා න පංකා – නානාසකා ථණ්ඩිලසායිකා වා
රජෝ ච ජල්ලං උක්කුටිකප්පධානං – සෝධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං
අන්ධබාල පෘථග්ජන සත්වයා පිරිසිදු වෙන්ට හිතාගෙන නිර්වස්ත‍්‍රව තපස් රැුක්කට, ඔළුවෙ ජටා බැඳගෙන හිටියට, දත් මැලියම් බැඳුණට, නොයෙක් ව‍්‍රත සමාදන් වුණාට, නොයෙක් ආසන ක‍්‍රමවලට වාඩිවුණාට, ඇඟ පුරා අළු දූවිලි තවරගත්තට, උක්කුටිකයෙන් වාඩිවෙලා හිටියට, ඔවුන් ඉන්නේ සැකයෙන් එතෙර නොවී නිසා, ඔවුන් පිරිසිදු වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී එක්තරා බහුභාණ්ඩික භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

10.14.
අලංකතෝ චේ’පි සමං චරෙය්‍ය – සන්තෝ දන්තෝ නියතෝ බ‍්‍රහ්මචාරී
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං – සෝ බ‍්‍රාහ්මණෝ සෝ සමණෝ ස භික්ඛු
ලස්සනට හැඳ – පැළඳගෙන හිටියත්, ඒ තැනැත්තා ධර්මයේ හැසිරුනොත්, ශාන්ත වුණොත්, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වුණොත්, නිවන් මගේ ස්ථිරව පිහිටියොත්, බ‍්‍රහ්මචාරී වුණොත්, සියළු සත්වයන් කෙරෙහි දඬු මුගුරු අත්හැරියොත්, ඔහු තමයි නියම බ‍්‍රාහ්මණයා. ඔහු තමයි නියම ශ‍්‍රාවකයා. ඔහු තමයි නියම භික්ෂුව.
(ජේතවනාරාමයේදී සන්තනි ඇමතියා අරභයා වදාළ ගාථාවකි ෴)

10.15.
හිරීනිසේධෝ පුරිසෝ – කෝචි ලෝකස්මිං විජ්ජති
යෝ නින්දං අපබෝධති – අස්සෝ භද්‍රෝ කසාමිව
යම් පුරුෂයෙක් ලැජ්ජාව නිසා අකුසල් දුරුකරනවා නම්, ලෝකෙ එබඳු අය ඉන්නෙ ටික දෙනයි. ඉතා යහපත් අශ්වයෙක් කස පහර කන්ට අකමැත්තෙන් හික්මෙනවා වගේ ඔහුත් නින්දාවට අකමැත්තෙන් හික්මෙනවා.
(ජේතවනාරාමයේදී පිලෝතික තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

10.16.
අස්සෝ යථා භද්‍රෝ කසානිවිට්ඨෝ – ආතාපිනෝ සංවේගිනෝ භවාථ
සද්ධාය සීලේන ච විරියේන ච – සමාධිනා ධම්මවිනිච්ඡුයේන ච
සම්පන්නවිජ්ජාචරණා පතිස්සතා – පහස්සථ දුක්ඛමිදං අනප්පකං
තමන්ගේ ප‍්‍රමාදයෙන් කසපහර වැදුණට පස්සේ ආජානීය අශ්වයා තව තවත් වීරියවන්ත වෙනවා. අන්න ඒ වගේ ඔබත් මේ සංසාරය ගැන කළකිරිල, කෙලෙස් නැතිකරන්ටමයි වීරිය ගන්ට ඕනෙ. ශ‍්‍රද්ධාවන්තව, සිල්වත්ව, සමාධියෙන් යුක්තව විදර්ශනා ප‍්‍රඥාවෙන්මයි තීරණ ගන්ට ඕනෙ. අවබෝධයයි, හැසිරීමයි එකක් වෙන්ට ඕනෙ. හොඳට සිහි නුවණ පිහිටුවාගෙන, මේ මහා සසර දුක නැතිකරලා දාන්න.
(ජේතවනාරාමයේදී පිලෝතික තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

10.17.
උදකං හි නයන්ති නෙත්තිකා – උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡුකා – අත්තානං දමයන්ති සුබ්බතා
වතුර ගෙන යන උදවිය තමන් කැමති දිසාවට ඇල වේලි බැඳගෙන වතුර අරගෙන යනවා. හී වඩුවො තමන්ට ඕනෙ පිළිවෙලට ඊතල සකස් කරගන්නවා. ලී වඩුවෝ තමන්ට ඕනෙ පිළිවෙලට ලී බඩු හදාගන්නවා. ධර්මයට කීකරු අය තමන්ගේ සිත දමනය කරගන්නවා.
(ජේතවනාරාමයේදී සුඛ සාමණේරයන් අරභයා වදාළ ගාථාවකි ෴)
සාදු! සාදු!! සාදු!!!
දඬුවම් ගැන වදාළ කොටස නිමා විය.
(දණ්ඩ වග්ගය නිමා විය.)

11. ජරා වර්ගය
(ජරාවට පත්වීම ගැන වදාළ කොටස)
11.01.
කෝ නු හාසෝ කිමානන්දෝ – නිච්චං පජ්ජලිතේ සති
අන්ධකාරේන ඕනද්ධා – පදීපං න ගවෙස්සථ මේ ජීවිතය ආශාවෙන්, තරහින්, මෝඩකමින් වයසට යෑමෙන්, රෝගවලින්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙළීමෙන් හැම තිස්සෙම ගිනි ඇවිලෙද්දී මොන හිනාද? මොන සතුටක්ද? අනවබෝධය නැමැති ඝන අඳුරේ ගිලී සිටින ඔබ, පහනක් නොසොයන්නේ ඇයි?
(ජේතවනාරාමයේදී විශාඛාවගේ මිතුරියන් අරභයා වදාළ ගාථාවකි ෴)

11.02.
පස්ස චිත්තකතං බිම්බං – අරුකායං සමුස්සිතං
ආතුරං බහුසංකප්පං – යස්ස නත්ථි ධුවං ඨිති
දැන්වත් හොඳින් බලාගන්න. ලස්සනට සරසගෙන හිටියට මේකෙ තියෙන්නෙ මස් වැදිච්ච ඇටසැකිල්ලක්. ලෙඩ දුක් ගොඩක්. අඥාන ජනයා මේ ශරීරය ගැන බොහෝ මනහර සිතුවිලි සිතුවට, මේකෙ නිත්‍ය දෙයක් නෑ. ස්ථිර දෙයක් නෑ. පවතින දෙයක් නෑ.
(වේළුවනාරාමයේදී සිරිමා ගණිකාව අරභයා වදාළ ගාථාවකි ෴)

11.03.
පරිජිණ්ණමිදං රූපං – රෝගනිඞ්ඪං පභංගුරං
භිජ්ජති පූතිසන්දේහෝ – මරණන්තං හි ජීවිතං
සතර මහා ධාතූන්ගෙන් හටගත් මේ රූපය ජරා – ජීර්ණ වෙලා අවසන් වෙනවා. රෝගවලට කූඩුවක් වගේ. වහා බිඳී යනවා. දොරටු නවයකින් අසූචි වැගිරෙනවා. මේ ජීවිතය බිඳිලා මරණයෙන් අවසන් වෙනවා.
(ජේතවනාරාමයේදී උත්තරී තෙරණිය අරභයා වදාළ ගාථාවකි ෴)

11.04.
යානි’මානි අපත්ථානි – අලාපූනේව සාරදේ
කාපෝතකානි අට්ඨීනි – තානි දිස්වාන කා රති
පායන කාලෙ කඩලා දාලා, ඒ ඒ තැන විසිකරපු ලබුකබල් වගේ මේ හිස්කබල් තියෙන්නෙ. මේ මිනී ඇට අළු කොබෙයියන්ගේ පාටයි. මේවා දැක දැක මොන කාම රතියක්ද?
(ජේතවනාරාමයේදී අට්ඨිමානික භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

11.05.
අට්ඨීනං නගරං කතං – මංසලෝහිතලේපනං
යත්ථ ජරා ච මච්චූ ච – මානෝ මක්ඛෝ ච ඕහිතෝ
මේ ශරීරය ඇට වලින් ගොඩනගලා, මස් ලේ වලින් ආලේප කරලා අටවලා තියෙන නගරයක් වගේ. ජරාවටත්, මරණයටත් පත්වෙන්නෙත් මේ ශරීරයමයි. අහංකාරකම ඇතිවෙන්නෙත් මේ ශරීරයට මයි. ගුණමකුකම ඇති වෙන්නෙත් මේ ශරීරයටමයි.
(ජේතවනාරාමයේදී රූපනන්දා තෙරණිය අරභයා වදාළ ගාථාවකි ෴)

11.06.
ජීරන්ති වේ රාජරථා සුචිත්තා – අථෝ සරීරම්පි ජරං උපේති
සතඤ්ච ධම්මෝ න ජරං උපේති – සන්තෝ හවේ සබ්භි පවේදයන්ති
විචිත‍්‍ර විදිහට සරසපු රාජකීය මංගල රථ පවා දිරලා යනවා. කොච්චර සැරසුවත් මේ ශරීරයත් ඒ විදිහටම දිරලා යනවා. නමුත්, සත්පුරුෂයින්ගේ ගුණ ධර්ම ජරාවට පත්වෙන්නෙ නෑ. ඇත්තෙන්ම ශාන්ත මුනිවරු සත්පුරුෂයන්ට මේ කාරණේ කියලා දෙනවා.
(ජේතවනාරාමයේදී මල්ලිකා දේවියගේ මරණය අරභයා වදාළ ගාථාවකි ෴)

11.07.
අප්පස්සුතායං පුරිසෝ – බලිවද්දෝ’ව ජීරති
මංසානි තස්ස වඞ්ඪන්ති – පඤ්ඤා තස්ස න වඞ්ඪති
සද්ධර්මය නිසි ආකාරයට නොදැනගත් පුද්ගලයා ගොනෙක් වගේ තරවෙනවා. ඔහුගේ මස් විතරයි වැඩෙන්නෙ. හැබැයි ඔහුට ප‍්‍රඥාව නම් වැඩෙන්නෙ නෑ.
(වේළුවනාරාමයේදී ලාලුදායී තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

11.08.
අනේකජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ – දුක්ඛා ජාති පුනප්පුනං
මේ සංසාරේ නොයෙක් විදිහේ ඉපදීම්වලට ගොදුරු වෙවී, දුක් සහිත ගමනක මං ඇවිද ඇවිද ගියා. මේ සසර දුක හදන වඩුවා, කවුද කියලයි මං හොය හොයා හිටියේ. ආයෙ ආයෙ ඉපදීම නම් දුකක් මයි.


11.09.
ගහකාරක දිට්ඨෝ’සි – පුන ගේහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං – තණ්හානං ඛයමජ්ඣගා
ඒයි වඩුවා! මං දැන් ඔබව හඳුනාගෙන ඉවරයි. ආයෙත් නම් ඔබට මං වෙනුවෙන් ගෙයක් හදන්ට බෑ. ඔබේ පරාල ඔක්කොම මං කෑලි කෑලිවලට කඩලා දැම්මා. වහලෙ මුදුන් කැණිමඬල මං සී සීකඩ වීසි කළා. මේ සිත සංස්කාර රහිත බවට පත්වුණා. තණ්හාව නැතිවුණා.
(මහා බෝධි මූලයේදී අපේ බුදු සමිඳුන් වදාළ උදාන ගාථාවන්ය ෴)

11.10.
අචරිත්වා බ‍්‍රහ්මචරියං – අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චා’ව ඣායන්ති – ඛීණමච්ඡේව පල්ලලේ
මොළේ නැති උදවිය තරුණ කාලෙදී බ‍්‍රහ්මචාරීව නිවන් මගේ හැසිරෙන්නෙත් නෑ. අඩු ගණනෙ මිළ මුදලක් වත් හම්බ කරගන්නෙ නෑ. අන්තිමේදී වයසට ගිහින්, බලාගත්තු අත බලාගෙන ඉන්නෙ, මාළු නැති මඩවලක් දිහා බලාගෙන ඉන්න නාකි වෙච්ච කොක්කු වගේ.
(ඉසිපතනේදී මහාධන සිටු පුත‍්‍රයා අරභයා වදාළ ගාථාවකි ෴)

11.11.
අචරිත්වා බ‍්‍රහ්මචරියං – අලද්ධා යොබ්බනේ ධනං
සෙන්ති චාපා’තිඛිත්තා’ව – පුරාණානි අනුත්ථුනං
මොළේ නැති උදවිය තරුණ කාලෙදි බ‍්‍රහ්මචාරීව නිවන් මගේ හැසිරෙන්නෙත් නෑ. අඩු ගණනේ මිළ මුදලක් වත් හම්බ කරගන්නෙ නෑ. අන්තිමේදී ඒ අනුවණ උදවිය කලින් විඳපු සැප ගැන හිත හිතා හූල්ල හූල්ල ඉන්නෙ, දුන්නෙන් නිකුත් වෙච්ච ඊතල වැටිච්ච තැනම දිරලා යනව වගේ.
(ඉසිපතනේදී මහාධන සිටු පුත‍්‍රයා අරභයා වදාළ ගාථාවකි ෴)
සාදු! සාදු!! සාදු!!!
ජරාවට වීම ගැන වදාළ කොටස නිමා විය.
(ජරා වග්ගය නිමා විය.)


12. අත්ත වර්ගය
(තමන් ගැන වදාළ කොටස)
12.01.
අත්තානං චේ පියං ජඤ්ඤා - රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤතරං යාමං - පටිජග්ගෙය්‍ය පණ්ඩිතෝ තමන් තමන්ට ආදරේ නම්, තමන්ව පරෙස්සම් කරගත යුත්තේ තමා විසින්මයි. නුවණින් යුක්ත කෙනා අඩුගණනේ බාල, තරුණ, මහළු කියන මේ තුන් කාලයෙන් එක්තරා කාලයකවත් අකුසල් වලින් දුරුවෙලා තමන්ව රැකගන්ට ඕනෙ.
(භේසකලා වනයේදී බෝධිරාජ කුමාරයා අරභයා වදාළ ගාථාවකි ෴)

12.02.
අත්තානමේව පඨමං – පතිරූපේ නිවේසයේ
අථඤ්ඤමනුසාසෙය්‍ය – න කිලිස්සෙය්‍ය පණ්ඩිතෝ
හැම දේකටම කලින් ගුණධර්මවල පිහිටුවාගන්ට ඕනෙ තමන්වමයි. ඊට පස්සේ තමයි අනුන්ට අනුශාසනා කළ යුත්තේ. ඒ විදිහට කටයුතු කළොත් නුවණැත්තෙක් කිලුටු වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී උපනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

12.03.
අත්තානං චේ තථා කයිරා – යථ’ඤ්ඤමනුසාසති
සුදන්තෝ වත දම්මේථ – අත්තා හි කිර දුද්දමෝ
අනිත් උදවියට අනුශාසනා කරනවා වගේම තමාත් ඒ අනුශාසනාවට අනුකූලව ජීවිතය ගතකරන්ට ඕන. තමන් දමනය වෙලා තමයි අනුන්ව දමනය කරන්ට ඕනෙ. තමා දමනය කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.
(ජේතවනාරාමයේදී පධානිකතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

12.04.
අත්තා හි අත්තනෝ නාථෝ – කෝ හි නාථෝ පරෝ සියා
අත්තනා’ව සුදන්තේන – නාථං ලභති දුල්ලභං
තමන්ට පිහිට සළසගන්ට ඕනෙ තමාමයි. තමන් හැර බාහිර වෙන කවුරු නම් තමන්ට පිහිට වෙයිද? හොඳට දමනය වුණාම තමන්ටම ඒ දුර්ලභ වූ ධර්මාවබෝධය නැමැති පිළිසරණ ලබන්ට පුළුවනි.
(ජේතවනාරාමයේදී කුමාරකස්සප තෙරුන්ගේ මව් වූ භික්ෂුණිය අරභයා වදාළ ගාථාවකි ෴)

12.05.
අත්තනා’ව කතං පාපං – අත්තජං අත්තසම්භවං
අභිමන්ථති දුම්මේධං – වජිරං’වස්මමයං මණිං
තමා තුළම හටගත්, තමා තුළින්ම පහළ වුණ, තමා විසින්ම කරපු පාප කර්ම වලින්මයි අනුවණයා දුක් විඳින්නේ. මැණික් ගලෙන් හැදෙන දියමන්තිය විසින් ඒ මැණික් ගල විනාශ කරනවා වගේ.
(ජේතවනාරාමයේදී මහාකාළ උපාසක අරභයා වදාළ ගාථාවකි ෴)

12.06.
යස්ස අච්චන්ත දුස්සීල්‍යං – මාලුවා සාලමිවෝතතං
කරෝති සෝ තථත්තානං – යථා නං ඉච්ඡතී දිසෝ
සල් ගහක් වටා එතෙන ලොකු කොළ තියෙන මාළුවා වැල නිසා අන්තිමේදී ඒ සල් ගහ කඩාගෙන වැටෙනවා. ඒ වගේම මුළුමනින්ම දුස්සීල ජීවිතයක් ගෙවන කෙනා, හතුරෙක් තවත් හතුරෙකුට අපරාධයක් කරන්ට කැමති වෙනව වගේ, තමාගේ දුස්සීල භාවයෙන්ම හානි කරගන්නවා.
(වේළුවනාරාමයේදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි ෴)

12.07.
සුකරානි අසාධූනි – අත්තනෝ අහිතානි ච
යං වේ හිතඤ්ච සාධුං ච – තං වේ පරමදුක්කරං
තමන්ට අයහපත පිණිස පවතින පව් කරන එක හරි ලේසි වැඩක්. නමුත් යම් දෙයක් තමන්ට හිතසුව පිණිස තියෙනවා නම්, තමන්ගේ යහපත පිණිස තියෙනවා නම්, එවැනි දේ කිරීම අතිශයින්ම දුෂ්කරයි.
(වේළුවනාරාමයේදී දෙව්දත්ගේ සංඝභේදය අරභයා වදාළ ගාථාවකි ෴)

12.08.
යෝ සාසනං අරහතං – අරියානං ධම්මජීවිනං
පටික්කෝසති දුම්මේධෝ – දිට්ඨිං නිස්සාය පාපිකං
ඵලානි කට්ඨකස්සේව – අත්තඝඤ්ඤාය ඵල්ලති
යම් අඥානයෙක් තමන් මිත්‍යා දෘෂ්ටියක් තුළ ඉඳගෙන ධාර්මිකව ජීවත් වෙන ඒ රහතන් වහන්සේලාගේ ධර්මය වැළැක්වුවොත්, ඒක තමන්ගෙ ජීවිතයම විනාශ වෙලා යන්ට හේතු වෙනවා. උණගසක් විනාශ වෙන්ට, ඒ උණ ගසෙන්ම ඵලයක් හටගන්නවා වගේ.
(ජේතවනාරාමයේදී කාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

12.09.
අත්තනා’ව කතං පාපං – අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං – අත්තනා’ව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං – නාඤ්ඤමඤ්ඤෝ විසෝධයේ
තමා විසින් කරපු පාපයෙන්මයි තමා කිලුටු වෙන්නේ. තමා විසින් පව් නොකිරීමෙන්මයි තමා පිරිසිදු වෙන්නේ. පිරිසිදු වීමත්, කිලුටු වීමත් යන දෙක තමන්ම බලාගත යුතු දෙයක්. තවත් කෙනෙකුට තවත් කෙනෙක්ව පිරිසිදු කරන්ට බෑ.
(ජේතවනයේදී චූලකාළ උපාසක අරභයා වදාළ ගාථාවකි ෴)

12.10.
අත්තදත්ථං පරත්ථේන – බහුනා’පි න හාපයේ
අත්තදත්ථමභිඤ්ඤාය – සදත්ථපසුතෝ සියා
අනුන්ගේ යහපත උදෙසා විතරක් බොහෝ වෙහෙස මහන්සි වෙන්ට ගිහින්, තමන්ගේ යහපත නැතිකරගන්ට හොඳ නෑ. තමන්ගේ යහපත මොකක්ද කියලා අවබෝධ කරගෙන, සැබෑම යහපත වන අරහත්වයට පත්වීමටමයි හිතට ගන්ට ඕනෙ.
(ජේතවනාරාමයේදී අත්තදත්ථ තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
සාදු! සාදු!! සාදු!!!
තමන් ගැන වදාළ කොටස නිමා විය.
(අත්ත වග්ගය නිමා විය.)


13. ලෝක වර්ගය
(ලෝකය ගැන වදාළ කොටස)
13.01.
හීනං ධම්මං න සේවෙය්‍ය – පමාදේන න සංවසේ
මිච්ඡාදිට්ඨිං න සේවෙය්‍ය – න සියා ලෝකවද්ධනෝ ලාමක කාම සම්පත් හොය හොයා යන්ට ඕන නෑ. ප‍්‍රමාදයත් එක්ක එකතු වෙන්ට ඕනෙ නෑ. මිත්‍යා දෘෂ්ටියක් ළං කරගන්ට ඕනෙ නෑ. සසර ගමන දික් කරගැනීම කිසිසේත්ම ඕනෙ නෑ.
(ජේතවනාරාමයේදී කුඩා සාමණේර නමක් අරභයා වදාළ ගාථාවකි ෴)

13.02.
උත්තිට්ඨේ නප්පමජ්ජෙය්‍ය – ධම්මං සුචරිතං චරේ
ධම්මචාරි සුඛං සේති – අස්මිං ලෝකේ පරම්හි ච
අලසකමින් නැගී සිටින්ට ඕනෙ. අප‍්‍රමාදීව කටයුතු කරන්ට ඕනෙ. සුචරිත ධර්මයෙහි හැසිරෙන්ට ඕනෙ. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව – පරලොව දෙකේම සුව සේ ඉන්නවා.
(නිග්‍රෝධාරාමයේදී සුද්ධෝදන මහ රජු අරභයා වදාළ ගාථාවකි ෴)

13.03.
ධම්මං චරේ සුචරිතං – න නං දුච්චරිතං චරේ
ධම්මචාරී සුඛං සේති – අස්මිං ලෝකේ පරම්හි ච
සුචරිත ධර්මයේමයි හැසිරෙන්ට ඕනෙ. කිසිසේත්ම දුෂ්චරිතයේ හැසිරෙන්ට ඕනෙ නෑ. ධර්මයේ හැසිරෙන කෙනා, මෙලොව, පරලොව දෙකේම සුව සේ ඉන්නවා.
(නිග්‍රෝධාරාමයේදී සුද්ධෝදන මහ රජු අරභයා වදාළ ගාථාවකි ෴)

13.04.
යථා බුබ්බුලකං පස්සේ – යථා පස්සේ මරීචිකං
ඒවං ලෝකං අවෙක්ඛන්තං – මච්චුරාජා න පස්සති
සිඳී බිඳී යන දිය බුබුලක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලනකොට, සැණෙකින් මැකී යන මිරිඟුවක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලන කොට, ඔය විදිහට ලෝකය දිහා බලන කොට, ඒ කෙනාව මාරයාට පේන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

13.05.
එ්ථ පස්සථිමං ලෝකං – චිත්තං රාජරථූපමං
යත්ථ බාලා විසීදන්ති – නත්ථි සංගෝ විජානතං
එන්න! ඇවිත් බලන්න මේ ලෝකයේ ඇත්ත ස්වභාවය දිහා. විචිත‍්‍ර විදිහට සරසලා තියෙන රාජකීය අශ්ව රථයක් වගේ, අඥාන පිරිස මේ විලාසිතාවට සම්පූර්ණයෙන්ම අහුවෙනවා. නමුත්, මේකේ යථාර්ථය අවබෝධ කරපු උදවිය නම්, මේ ලෝකෙත් එක්ක කිසි ගණුදෙනුවක් කරන්නෙ නෑ.
(වේළුවනාරාමයේදී අභයරාජ කුමාරයා අරභයා වදාළ ගාථාවකි. ෴)

13.06.
යෝ ච පුබ්බේ පමජ්ජිත්වා – පච්ඡා සෝ නප්පමජ්ජති
සෝ ඉමං ලෝකං පභාසේති – අබ්භා මුත්තෝ’ව චන්දිමා
යම් කෙනෙක් බාහිර වැඩකටයුතු කරමින් ඉඳලා, බණ, භාවනා කිරීම ප‍්‍රමාද කරමින් ඉඳලා, පස්සෙ කාලෙක ඒ බාහිර කටයුතු අඩු කරනවා. අප‍්‍රමාදී වෙනවා. ඒ තැනැත්තා තමයි වළාකුලින් තොර අහස්කුස පුරා බබලන පුන් සඳක් වගේ, මේ ලෝකෙ එළිය කරන්නෙ.
(ජේතවනාරාමයේදී සම්මුඤ්ජනී තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

13.07.
යස්ස පාපං කතං කම්මං – කුසලේන පිථියති
සෝ ඉමං ලෝකං පභාසේති – අබ්භා මුත්තෝ’ව චන්දිමා
යම් කෙනෙක් තමන් කරපු පව්, ආර්ය මාර්ගයේ ගමන් කිරීම නිසා උපදවාගත්තු කුසල් බලයෙන් වහලා දානවා නම්, ඔහු මේ ලෝකය ආලෝකමත් කරනවා. වළාකුලින් මිදිලා අහස් කුස එළිය කරන පුන්සඳක් වගේ.
(ජේතවනාරාමයේදී අංගුලිමාල තෙරුන් අරභයා වදාළ ගාථාව ෴)

13.08.
අන්ධභූතෝ අයං ලෝකෝ – තනුකේත්ථ විපස්සති
සකුන්තෝ ජාලමුත්තෝ’ව – අප්පෝ සග්ගාය ගච්ඡුති
මේ ලෝක සත්වයා මෝඩකම නැමැති අන්ධභාවයෙන් අඳුරු වෙලයි ඉන්නෙ. ඉතාම ටික දෙනෙක් තමයි යථාර්ථය දකින්නෙ. කුරුලු වැද්දාගේ දැලෙන් නිදහස් වෙන්නෙ කුරුල්ලො ටික දෙනයි. අන්න ඒ වගේ, සුගතියේ උපදින්නෙ ටික දෙනයි.
(අග්ගාලව ආරාමයේදී පේසකාර දුව අරභයා වදාළ ගාථාවකි ෴)

13.09.
හංසාදිච්චපථේ යන්ති – ආකාසේ යන්ති ඉද්ධියා
නිය්‍යන්ති ධීරා ලෝකම්හා - ජිත්වා මාරං සවාහිනිං
හංසයෝ අහසේ පියාඹා යනවා. ඉර්ධිමත් රහතන් වහන්සේලාත් අහසින් වඩිනවා. ඒ නුවණැති මුනිවරු, සේනා සහිත මාරයාව පරදවලා, මේ ලෝකෙනුත් නිදහස් වෙලා, නිවනට වඩිනවා.
(ජේතවනාරාමයේදී භික්ෂූන් තිස් නමක් අරභයා වදාළ ගාථාවකි ෴)

13.10.
ඒකං ධම්මං අතීතස්ස – මුසාවාදිස්ස ජන්තුනෝ
විතිණ්ණපරලෝකස්ස – නත්ථි පාපං අකාරියං
සත්‍යවාදී බව නම් වූ එකම එක ගුණ ධර්මය පවා ඉක්මවා ගිහින්, බොරු දොඩවන කෙනෙකුට පරලොව ගැන කිසිම හැඟීමක් නෑ. ඒ නිසා ඔහුට කරන්ට බැරි පාපයකුත් නෑ.
(ජේතවනාරාමයේදී චිංචිමාණවිකාව අරභයා වදාළ ගාථාවකි ෴)

13.11.
න වේ කදරියා දේවලෝකං වජන්ති – බාලා හවේ නප්පසංසන්ති දානං
ධීරෝ ච දානං අනුමෝදමානෝ – තේනේව සෝ හෝති සුඛී පරත්ථ
මසුරුකම් කරන අය කවදාවත් දෙව්ලොව යන්නෙ නෑ. අසත්පුරුෂයෝ කවදාවත් දන් දීම ප‍්‍රශංසා කරන්නෙ නෑ. දන් දීමක් අනුමෝදන් වීම වුණත් කරන්නෙ ප‍්‍රඥාවන්තයෙක් තමයි. පරලොවදී සැප ලබන්ට ඔහුට ඒකමයි හේතු වෙන්නේ.
(ජේතවනාරාමයේදී කොසොල් රජුගේ අසදෘස මහා දානය අරභයා වදාළ ගාථාවකි ෴)

13.12.
පථව්‍යා ඒකරජ්ජේන – සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන – සෝතාපත්තිඵලං වරං
මුළු පෘථිවියම ජයගෙන, චක‍්‍රවර්තී රජකෙනෙක් වෙනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකළ ලෝකයටම අධිපති වෙනවාටත් වඩා, සෝවාන් ඵලයට පත්වීමම උතුම්.
(ජේතවනාරාමයේදී අනේපිඬු සිටුතුමාගේ කාල නම් පුතා අරභයා වදාළ ගාථාවකි ෴)
සාදු! සාදු!! සාදු!!!
ලෝකය ගැන වදාළ කොටස නිමා විය.
(ලෝක වග්ගය නිමා විය.)


14. බුද්ධ වර්ගය
(සම්බුදුරජාණන් වහන්සේ ගැන වදාළ කොටස)
 
 
 
14.01.
යස්ස ජිතං නාවජීයති – ජිතමස්ස නෝ යාති කෝචි ලෝකේ
තංබුද්ධමනන්තගෝචරං – අපදං කේන පදේන නෙස්සථ මේ කෙලෙස් සටන ඔහු දිනාගෙන ඉවරයි. ඒක කවදාවත් පැරදුමක් වෙන්නෙ නෑ. ඒ ජයග‍්‍රහණය පරදවන්ට පුළුවන් දෙයක් ඔහුගෙ පස්සෙන් එන්නෙත් නෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඤාණ විෂය අනන්තයි. උන්වහන්සේගේ ගමන් මග කෙලෙස් රහිතයි. ඉතින් එබඳු කෙනෙක්ව කොයි විදිහටද රවට්ටන්න හදන්නෙ.
(බෝධි මූලයේදී මාර දූ වරුන්ට සහ කුරු රට මාගන්දියාගේ පියා අරභයා වදාළ ගාථාවකි ෴)

14.02.
යස්ස ජාලීනී විසත්තිකා – තණ්හා නත්ථි කුහිඤ්චි නේතවේ
තංබුද්ධමනන්තගෝචරං – අපදං කේන පදේන නෙස්සථ
තෘෂ්ණාව කියන්නෙ දැලක්. සත්වයාව භවයේ ඔතලා දාන නිසා ඒකට ‘විසත්තිකාව’ කියනවා. ඔහු තුළ තෘෂ්ණාව නැති නිසා, ඒ තැනැත්තාව කිසිම විදිහකින් භවයක් කරා ගෙනයන්ට බෑ. සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ඤාණ විෂය අනන්තයි. උන්වහන්සේගේ ගමන් මග කෙලෙස් රහිතයි. ඉතින් එබඳු කෙනෙක්ව කොයි විදිහටද රවට්වන්ට හදන්නේ.
(බෝධි මූලයේදී මාර දූ වරුන්ට සහ කුරු රට මාගන්දියාගේ පියා අරභයා වදාළ ගාථාවකි ෴)

14.03.
යේ ඣානපසුතා ධීරා – නෙක්ඛම්මූපසමේ රතා
දේවා’පි තේසං පිහයන්ති – සම්බුද්ධානං සතීමතං
උන්වහන්සේලා ප‍්‍රඥාවන්තයි. ධ්‍යානයටමයි ඇලී වසන්නේ. ලෝකෙන් නික්මිලා, සිත සංසිඳවාගෙන, ඒ අමා නිවනටමයි ඇලී ඉන්නේ. ඉතින් හොඳින් සිහි නුවණ පවත්වන සම්බුදුරජාණන් වහන්සේලාට දෙවියන් පවා කැමතියි.
(ගන්ඩබ්බ රුක්ඛ මූලයේදී යමා මහ පෙළහර අරභයා වදාළ ගාථාවකි ෴)

14.04.
කිච්ඡෝ මනුස්සපටිලාභෝ – කිච්ඡං මච්ඡාන ජීවිතං
කිච්ඡං සද්ධම්මසවනං – කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ
මනුෂ්‍ය ජීවිතයක් ලබාගැනීම ඉතාම දුෂ්කරයි. ඒ මනුෂ්‍යයන්ට ජීවත්වීමේදී දුෂ්කරතා ඇතිවෙනවා. පිරිසිදු සද්ධර්මය අසන්ට ලැබීමත් ඉතා දුර්ලභයි. බුදු රජාණන් වහන්සේලාගේ ඉපදීම ඒ හැමටම වඩා දුර්ලභයි.
(බරණැස් නුවරදී ඒරකපත්ත නා රජුන් අරභයා වදාළ ගාථාවකි ෴)

14.05.
සබ්බපාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝදපනං – ඒතං බුද්ධාන සාසනං
සිත, කය, වචනය යන තුන් දොරින් කිසිම අකුසලයක් නොකිරීමත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති කුසල් රැස් කිරීමත්, සිත ආර්ය මාර්ගය තුළින් පිරිසිදු කරගැනීමත් යන මෙය, බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනයයි.
(ජේතවනාරාමයේදී ආනන්ද තෙරුන් ඇසූ ප‍්‍රශ්නයක් අරභයා වදාළ ගාථාවකි ෴)

14.06.
ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතෝ පරූපඝාතී
සමණෝ හෝති පරං විහේඨයන්තෝ
ඉවසීම කියන ක්‍ෂාන්තියයි උතුම් තපස කියලා කියන්නෙ. බුදුවරයන් වහන්සේලා පවසන්නේ ඒ අමා නිවනම උතුම් කියලයි. අනුන් නසන කෙනෙක් පැවිද්දෙක් වෙන්නෙ නෑ. අනුන්ට හිංසා කරන කෙනා ශ‍්‍රමණයෙක් වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී ආනන්ද තෙරුන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ ගාථාවකි ෴)

14.07.
අනූපවාදෝ අනූපඝතෝ – පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච භත්තස්මිං - පන්තඤ්ච සයනාසනං
අධිචිත්තේ ච ආයෝගෝ – ඒතං බුද්ධාන සාසනං
කාටවත් නින්දා අපහාස කරන්ට හොඳ නෑ. කාගෙවත් ජීවිතයක් හානිකරන්ට හොඳ නෑ. ප‍්‍රාතිමෝක්ෂ සීලයෙන් සංවර වෙලා අවබෝධයෙන් යුක්තව දානෙ වළඳලා, දුර ඈත වන සෙනසුන්වල තමයි කල් ගෙවන්ට ඕනෙ. චිත්ත සමාධිය හොඳට පුරුදුවෙන්ට ඕනෙ. බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මෙයයි.
(ජේතවනාරාමයේදී ආනන්ද තෙරුන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ ගාථාවකි ෴)

14.08.
න කහාපණවස්සේන – තිත්ති කාමේසු විජ්ජති
අප්පස්සාදා දුඛා කාමා – ඉති විඤ්ඤාය පණ්ඩිතෝ
රන් කහවනු වැස්සක් වැස්සත් තනි පුද්ගලයෙක් මේ පංචකාමයන් ගැන තෘප්තියකට නම් පත්වෙන්නෙ නෑ. මේ කාමයන්ගේ ආශ්වාදය හරිම චුට්ටයි. නමුත් දුක් නම් ගොඩක් තියෙනවා. බුද්ධිමත් කෙනා ඔය ඇත්ත තේරුම් ගන්නවා.


14.09.
අපි දිබ්බේසු කාමේසු – රතිං සෝ නාධිගච්ඡති
තණ්හක්ඛයරතෝ හෝති – සම්මාසම්බුද්ධසාවකෝ
ඔහු දිව්‍ය කාම සම්පත්වලටවත් ඇලීමත් නම් ඇති කරගන්නෙ නෑ. සම්මා සම්බුදුරජුන්ගෙ ශ‍්‍රාවකයා තණ්හාව නැති කිරීමෙන් ලබන ඒ අමා නිවනටමයි ඇලෙන්නෙ.
(ජේතවනාරාමයේදී සාසනයෙහි උකටලී වූ භික්ෂුවක් අරභයා වදාළ ගාථාවන්ය ෴)

14.10.
බහුං වේ සරණං යන්ති – පබ්බතානි වනානි ච
ආරාමරුක්ඛචෙත්‍යානි – මනුස්සා භයතජ්ජිතා
බයේ ගැහි ගැහී ඉන්න බොහෝ මිනිස්සු පිහිටක් හොයා ගෙන පර්වත සරණ යනවා. වනාන්තර සරණ යනවා. දේවාල සරණ යනවා. ගස් කොළන් සරණ යනවා.
(ජේතවනාරාමයේදී කොසොල් රජුගේ පුරෝහිත බ‍්‍රහ්මණයා අරභයා වදාළ ගාථාවකි ෴)

14.11.
නේතං ඛෝ සරණං ඛේමං – නේතං සරණමුත්තමං
නේතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති.
ඔය ගස් ගල් සරණ යන එකෙන් කිසිම ආරක්ෂාවක් නම් ඇතිවෙන්නෙ නෑ. අනික ඔය සරණ කිසිසේත් උතුම් නෑ. ඔය සරණට පැමිණිලා නම්, කවදාවත් කිසිම දුකකින් නිදහස් වෙන්ට පුළුවන් කමක් නෑ.
(-එම- ෴)

14.12.
යෝ ච බුද්ධඤ්ච ධම්මඤ්ච – සංඝඤ්ච සරණං ගතෝ
චත්තාරි අරියසච්චානි – සම්මප්පඤ්ඤාය පස්සති
යම් කෙනෙක් අවබෝධයෙන් යුක්තව බුදු සමිඳුන් සරණ ගියා නම්, ශ‍්‍රී සද්ධර්මයත්, ආර්ය සංඝරත්නයත් සරණ ගියා නම්, ඔහු ප‍්‍රඥාව දියුණු කරගෙන, චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා.
(-එම- ෴)

14.13.
දුක්ඛං දුක්ඛසමුප්පාදං – දුක්ඛස්ස ච අතික්කමං
අරියඤ්චට්ඨංගිකං මග්ගං – දුක්ඛූපසමගාමිනං
දුක කියන්නෙ ආර්ය සත්‍යයක්. දුකේ හටගැනීමත් ආර්ය සත්‍යයක්. දුක ඉක්මවා ගිහින් නිවන අවබෝධවීමත් ආර්ය සත්‍යයක්. දුක් සංසිඳුවන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ආර්ය සත්‍යයක්.
(-එම- ෴)

14.14.
ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං සරණමුත්තමං
ඒතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති
ඔය තිසරණය තමයි එකම ආරක්ෂාව. ඔය තිසරණයම තමයි උතුම්ම සරණ. ඔය තිසරණයට පැමිණුනාමයි සියළු දුකෙන් නිදහස් වෙන්නේ.
(-එම- ෴)

14.15.
දුල්ලභෝ පුරිසාජඤ්ඤෝ – න සෝ සබ්බත්ථ ජායති
යත්ථ සෝ ජායති ධීරෝ – තං කුලං සුඛමේධති
පරම ශ්‍රේෂ්ඨ වූ, පුරුෂෝත්තමයකුගේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. යම් තැනක ඒ මහා ප‍්‍රාඥ වූ පුරුෂෝත්තමයා ඉපදුණොත්, ඒ පරම්පරාවම සුවපත් වෙනවා.
(ජේතවනාරාමයේදී ආනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

14.16.
සුඛෝ බුද්ධානං උප්පාදෝ – සුඛා සද්ධම්මදේසනා
සුඛා සංඝස්ස සාමග්ගි – සමග්ගානං තපෝ සුඛෝ
බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ලොවට මහා සැපයකි. පිරිසිදු ශ‍්‍රී සද්ධර්මය දේශනා කිරීමත් සැපයක්. බුදුරජුන්ගේ ශ‍්‍රාවක සංඝයාගේ සමඟියද සැපයක්. ඒ සමඟි සම්පන්න වූ සංඝයාගේ බණ භාවනාවද සැපයක්.
(ජේතවනාරාමයේදී බොහෝ භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

14.17.
පූජාරහේ පූජයතෝ – බුද්ධේ යදි ව සාවකේ
පපඤ්චසමතික්කන්තේ – තිණ්ණසෝකපරිද්දවේ
කෙලෙස් පටලැවිලි ඉක්මවා ගිය, ශෝක වැළපීම් වලින් එතෙර වුණ බුදුරජාණන් වහන්සේට හෝ බුද්ධ ශ‍්‍රාවකයින්ට හෝ එබඳු පූජනීය උතුමන්ට යමෙක් දන් පැන් පුදනවා නම්,


14.18.
තේ තාදිසේ පූජයතෝ – නිබ්බුතේ අකුතෝභයේ
න සක්කා පුඤ්ඤං සංඛාතුං – ඉමෙත්තමපි කේනචි
කිසි ලෙසකිනුත් බිය – තැතිගැනීම් නැති නිවුණු සිත් ඇති, එබඳු උතුමන්ට පූජා – සත්කාර කරන කෙනාගේ ඒ පින් මෙච්චරයි කියලා, මැනලා කියන්ට කාටවත් පුළුවන්කමක් නෑ.


සාදු! සාදු!! සාදු!!!
බුදුරජාණන් වහන්සේ ගැන වදාළ කොටස නිමා විය.
(බුද්ධ වග්ගය නිමා විය.)


15. සුඛ වර්ගය
(සැපය ගැන වදාළ කොටස)
 
 
15.01.
සුසුඛං වත ජීවාම – වේරිනේසු අවේරිනෝ
වේරිනේසු මනුස්සේසු – විහරාම අවේරිනෝ ඇත්තෙන්ම අපි නම් ජීවත් වෙන්නෙ හරිම සැපෙන්, එකිනෙකාට වෛර කරගන්න මේ ලෝකෙ අපි නම් කිසි වෛරයක් නැතුව ඉන්නවා. වෛර කරගන්න මිනිස්සු අතරෙ, කිසිම වෛරයකින් තොරවයි අපි ජීවත් වෙන්නෙ.
(ශාක්‍ය ජනපදයේදී ශාක්‍ය – කෝලිය රජවරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

15.02.
සුසුඛං වත ජීවාම – ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු – විහරාම අනාතුරා
ඇත්තෙන්ම අපි නම් ජීවත්වෙන්නෙ හරිම සැපෙන්, කෙලෙස් නිසා රෝගාතුර වෙච්ච ලෝකෙ අපි කෙලෙස් රහිතව, ලෙඩ නොවී ඉන්නවා. කෙලෙස් වලින් ලෙඩවෙච්ච මිනිසුන් අතරෙ කෙලෙස් රහිතව, ලෙඩ නොවී අපි තමයි ඉන්නෙ.
(-එම- ෴)

15.03.
සුසුඛං වත ජීවාම – උස්සුකේසු අනුස්සුකා
උස්සුකේසු මනුස්සේසු – විහරාම අනුස්සුකා
ඇත්තෙන්ම අපි නම් ජීවත් වෙන්නෙ හරිම සැපෙන්, කම් සැප සොයමින් ඇවිස්සිලා ඉන්න ලෝකෙ, කම්සැප අත්හැරපු අපි කිසි ඇවිස්සීමක් නැතුව ඉන්නවා. කම් සැප හොයන්ට ඇවිස්සුන මිනිස්සු අතර, කම්සැප අත්හැරපු අපි කිසි ඇවිස්සීමක් නැතුවයි ජීවත් වෙන්නේ.
(-එම- ෴)

15.04.
සුසුඛං වත ජීවාම – යේසං නෝ නත්ථි කිඤ්චනං
පීතිභක්ඛා භවිස්සාම – දේවා ආභස්සරා යථා
ඇත්තෙන්ම අපි නම් ජීවත් වෙන්නෙ හරිම සැපෙන්,අපි තුළ දුක හැදෙන කෙලෙස් මොකවත් නෑ. ආභස්සර ලෝකෙ දෙවියන් වගේ, අපටත් ප‍්‍රීතියම වළඳලා ඉන්ට පුළුවනි.
(පංචසාලා බ‍්‍රාහ්මණ ගමේදී වසවර්ති මාරයා අරභයා වදාළ ගාථාවකි ෴)

15.05.
ජයං වේරං පසවති – දුක්ඛං සේති පරාජිතෝ
උපසන්තෝ සුඛං සේති – හිත්වා ජයපරාජයං
තරඟ කරන්ට ගිහින් ජයගත්තොත් වෛරය තමයි ඇතිවෙන්නෙ. පැරදිච්ච කෙනා දුකින් ඉන්නවා. නමුත් ඔය ජය පරාජ දෙකම අත්හැරපු මුනිවරයා තමයි සැප සේ ඉන්නෙ.
(සැවැත් නුවරදී කොසොල් රජුන් අරභයා වදාළ ගාථාවකි ෴)

15.06.
නත්ථි රාගසමෝ අග්ගි – නත්ථි දෝසසමෝ කලි
නත්ථි ඛන්ධසමා දුක්ඛා – නත්ථි සන්තිපරං සුඛං
රාගයට සමාන කරන්ට පුළුවන් වෙන ගින්නක් නෑ. ද්වේෂයට සමාන කරන්ට වෙන අපරාධෙකුත් නෑ. පංචුපාදානස්කන්ධයට සමාන කරන්ට පුළුවන් වෙන දුකකුත් නෑ. එ් අමා නිවනට වැඩියෙන් කියන්ට පුළුවන් වෙන සැපයකුත් නෑ.
(සැවැත් නුවරදී කම් සුවයෙහි ලොල් වූ එක්තරා තරුණයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

15.07.
ජිඝච්ඡුාපරමා රෝගා – සංඛාරපරමා දුඛා
එ්තං ඤත්වා යථාභූතං – නිබ්බාණංපරමං සුඛං
මේ බඩගින්න තමයි ලොකුම රෝගය. මේ හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේ තමයි ලොකුම දුක. ඔය යථාර්ථය අවබෝධ කරගත්තොත් ඒ අමා නිවන තමයි උතුම්ම සැපය.
(අලව් නුවර එක්තරා උපාසකයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

15.08.
ආරෝග්‍යාපරමා ලාභා – සන්තුට්ඨිපරමං ධනං
විස්සාසපරමා ඤාතී – නිබ්බාණංපරමං සුඛං
නිරෝගීකම තමයි උතුම්ම ලාභය. ජීවිතාවබෝධය තුළින් ලබන සතුට තමයි උතුම්ම ධනය. විශ්වාසවන්තකම තමයි උතුම්ම ඤාතියා. උතුම්ම සැපය තමයි ඒ අමා නිවන.
(ජේතවනාරාමයේදී කොසොල් රජු අරභයා වදාළ ගාථාවකි ෴)

15.09.
පවිවේකරසං පීත්වා – රසං උපසමස්ස ච
නිද්දරෝ හෝති නිප්පාපෝ – ධම්මපීතිරසං පිබං
හුදෙකලා ජීවිතයේ ඇති රසයත්, කෙලෙස් සංසිඳීමෙන් ලැබෙන එ් අමා නිවන් රසයත් පානය කළ භික්ෂුව පීඩා විඳින කෙනෙක් නෙවෙයි. පව් ඇති කෙනෙක්ද නොවෙයි.
(විසාලා මහනුවරදී තිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

15.10.
සාහු දස්සනමරියානං – සන්නිවාසෝ සදා සුඛෝ
අදස්සනේන බාලානං – නිච්චමේව සුඛී සියා
ආර්යයන් වහන්සේලාව දැකීම කොයිතරම් හොඳද. උන්වහන්සේලා සමග ජීවත්වෙන්ට ලැබුණොත් හැමදාම සැපයි. අසත්පුරුෂ බාල ජනයන්ව දකින්ට නොලැබීමෙන් පවා, සත්වයාට නිතරම සැප ලබා දෙනවා.
(බේළුව ගමේදී සක් දෙවිඳු අරභයා වදාළ ගාථාවකි ෴)

15.11.
බාලසංගතචාරීහි දීඝමද්ධාන සෝචති – දුක්ඛෝ බාලේහි සංවාසෝ
අමිත්තේනේව සබ්බදා – ධීරෝ ච සුඛසංවාසෝ ඤාතීනං’ව සමාගමෝ
අසත්පුරුෂ බාල ජනයන් එක්ක එකට ජීවත්වෙන්ට ගියොත් බොහෝ කලක් ශෝක කරන්ට වෙනවා. ඔය අඥානයින් සමග වාසය කරන්ට ලැබීම නම් දුකක්ම තමයි. හැම තිස්සේම හතුරෝ එක්ක ඉන්නවා වගේ. නමුත් ප‍්‍රඥාවන්ත කෙනා සමග ඇසුරු කිරීම හරි සැපයි. නෑදෑයොත් එක්ක එකට ඉන්නවා වගේ.
(-එම- ෴)

15.12.
තස්මාහි,ධීරඤ්ච, පඤ්ඤඤ්ච බහුස්සුතඤ්ච – ධෝරය්හසීලං වතවන්තමාරියං
තං තාදිසං සප්පුරිසං සුමේධං – භජේථ නක්ඛත්තපථං’ව චන්දිමා
අන්න ඒ නිසා ප‍්‍රඥාවන්ත, ජීවිත අවබෝධය ලබාගත්, සද්ධර්මය හොඳින් ප‍්‍රගුණ කරගත්, වීරියවන්ත, සිල්වත් වත්පිළිවෙත් දන්නා ආර්යන් වහන්සේලා ඉන්නවා. එවැනි සුන්දර ප‍්‍රඥා ඇති සත්පුරුෂයෙක්වයි ඇසුරු කරන්ට ඕනෙ. අහස ඇසුරු කරන පුන් සඳ වගේ.
(-එම- ෴)
සාදු! සාදු!! සාදු!!!
සැපය ගැන වදාළ කොටස නිමා විය.
(සුඛ වග්ගය නිමා විය.)


16.01.
අයෝගේ යුඤ්ජමත්තානං – යෝගස්මිඤ්ච අයෝජයං
අත්ථං හිත්වා පියග්ගාහී – හේතපිත්තානුයෝගිනං
අනුගමනය නොකළ යුතු වැරදි දේ තමයි සමහරු අනුගමනය කරන්නේ. අනුගමනය කළ යුතු සතිපට්ඨානය පුරුදු කිරීම් ආදී දේ අනුගමනය කරන්නෙ නෑ. ආශා කරන දේ පස්සෙ දුව දුව යහපත අත්හරිනවා. නමුත් යහපත් දේ අනුගමනය කරලා සැප ලබාගත්තු අය දැක්කට පස්සේ, එ් සැප ලබාගන්ට ඔවුනුත් කැමති වෙනවා.
(ජේතවනාරාමයේදී එකම පවුලකින් පැවිදි වූ තිදෙනෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

16.02.
මා පියේහි සමාගඤ්ජී – අප්පියේහි කුදාචනං
පියානං අදස්සනං දුක්ඛං – අප්පියානඤ්ච දස්සනං
තමන් කැමති උදවිය සමග පමණ ඉක්මවා හිත මිත‍්‍රකම් ඇතිකරගන්ට එපා. අප‍්‍රිය පුද්ගලයන් හා හිතමිතුරුකම් කොහෙත්ම ඕනෙ නෑ. ප‍්‍රියයන්ට ඇළුණොත්, ඔවුන් දකින්ට නොලැබීමෙන් දුක් ඇතිවෙනවා. අප‍්‍රිය පුද්ගලයන් දකින්ට ලැබීමෙනුත් දුක් ඇතිවෙනවා.
(-එම- ෴)

16.03.
තස්මා පියං න කයිරාථ – පියාපායෝ හි පාපකෝ
ගන්ථා තේසං න විජ්ජන්ති – යේසං නත්ථි පියාප්පියං
ඒ නිසා කිසිදෙයක් කෙරෙහි ඇල්මක් ඇතිකරගන්ට එපා. ඒක එහෙම තමයි. ප‍්‍රියයන්ගෙන් වෙන්වෙන්ට සිදුවුණොත් ඒක ඔහුට දුකක් වෙනවා. නමුත් යමෙකුට ඔය ප‍්‍රිය-අප‍්‍රිය දේවල් මොකවත් නැත්නම් ඔවුන් තුළ කෙලෙස් ගැට නෑ.
(-එම- ෴)

16.04.
පියතෝ ජායතී සෝකෝ – පියතෝ ජායතී භයං
පියතෝ විප්පමුත්තස්ස – නත්ථි සෝකෝ කුතෝ භයං
ප‍්‍රිය දේ තුළින් ශෝකය උපදිනවා. ප‍්‍රිය දේ තුළින්මයි බිය උපදින්නෙත්. ප‍්‍රිය දේවල්වලින් නිදහස් වුණ කෙනාට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
(ජේතවනාරාමයේදී එක්තරා පියෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

16.05.
පේමතෝ ජායතී සෝකෝ – පේමතෝ ජායතී භයං
පේමතෝ විප්පමුත්තස්ස – නත්ථි සෝකෝ කුතෝ භයං
ආදරය කරන දෙයින්මයි ශෝකය උපදින්නෙ. ආදරය කරන දෙයින්මයි බිය උපදින්නෙත්. ආදරයෙන් නිදහස් වුණ කෙනාට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
(ජේතවනාරාමයේදී විශාඛා උපාසිකාව අරභයා වදාළ ගාථාවකි ෴)

16.06.
රතියා ජායතී සෝකෝ – රතියා ජායතී භයං
රතියා විප්පමුත්තස්ස – නත්ථි සෝකෝ කුතෝ භයං
ඇල්ම නිසා ශෝකය උපදිනවා. ඇල්ම නිසා මයි භය උපදින්නෙත්. ඇල්මෙන් නිදහස් වුණ කෙනාට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
(විසාලා මහනුවර ලිච්ඡුවි කුමාරවරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

16.07.
කාමතෝ ජයාතී සෝකෝ – කාමතෝ ජායතී භයං
කාමතෝ විප්පමුත්තස්ස – නත්ථි සෝකෝ කුතෝ භයං
කාමයෙන් ශෝකය ඇතිවෙනවා. කාමයෙන් මයි බිය ඇතිවෙන්නෙ. කාමයෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
(ජේතවනාරාමයේදී අනිත්ථිගන්ධ කුමරු අරභයා වදාළ ගාථාවකි ෴)

16.08.
තණ්හාය ජායතී සෝකෝ – තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස – නත්ථි සෝකෝ කුතෝ භයං
තණ්හාවෙන් තමයි ශෝකය හටගන්නෙ. භය හටගන්නෙත් තණ්හාවෙන් තමයි. තණ්හාවෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
(ජේතවනාරාමයේදී එක්තරා බ‍්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

16.09.
සීලදස්සනසම්පන්නං – ධම්මට්ඨං සච්චවේදිනං
අත්තනෝ කම්ම කුබ්බානං – තං ජනෝ කුරුතේ පියං
යමෙක් සිල්වත් නම්, චතුරාර්ය සත්‍ය දර්ශයෙන් යුක්ත නම්, ධර්මය තුළ පිහිටලා ඉන්නවා නම්, සත්‍යවාදී නම්, ඒ යහපත් දිවි පැවැත්මෙන් යුක්ත කෙනාට සාමාන්‍ය ජනතාව හරි කැමතියි.
(වේළුවනාරාමයේදී පන්සියයක් දරුවන් අරභයා වදාළ ගාථාවකි ෴)

16.10.
ඡන්දජාතෝ අනක්ඛාතේ – මනසා ච ඵුටෝ සියා
කාමේසු ච අප්පටිබද්ධචිත්තෝ – උද්ධසෝතෝ’ති වුච්චති
නිවන කෙරෙහි ආශාව ඇති කරගත් කෙනා, එය කාටවත් නොකිව්වත්, ඒ නිවන සිතින් ස්පර්ශ කරනවා නම්, ඔහුගේ සිත කාමයන්ට ඇලෙන්නෙ නෑ. අන්න ඒ තැනැත්තාටයි “උඩුගං බලා යන කෙනා” කියන්නේ.
(ජේතවනාරාමයේදී අනාගාමී තෙර නමක් අරභයා වදාළ ගාථාවකි ෴)

16.11.
චිරප්පවාසිං පුරිසං – දූරතෝ සොත්ථිමාගතං
ඤාතිමිත්තා සුහජ්ජා ච – අභිනන්දන්ති ආගතං
බොහෝ කලක් පිටරටක හිටපු කෙනෙක් දුරුකතර ගෙවාගෙන සුව සේ එනවිට, ඔහුගේ නෑදෑයන්. හිත මිතුරන් කවුරුත් ඔහුගේ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා.
(බරණැස දී නන්දිය උපාසකතුමා අරභයා වදාළ ගාථාවකි ෴)

16.12.
තථේ’ව කතපුඤ්ඤම්පි – අස්මා ලෝකා පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති – පියං ඤාතී’ව ආගතං
පින් කරගත්තහමත් එහෙම තමයි. මෙලොව අත්හැරලා පරලොව යනකොට, තමන් කරපු පින විසින් තමාව පිළිගන්නෙ දුරු රටක ඉඳන් එන ප‍්‍රියාදර කෙනෙක්ව ඤාතීන් විසින් පිළිගන්නවා වගේ.
(-එම- ෴)
සාදු! සාදු!! සාදු!!!
ප‍්‍රිය වීම ගැන වදාළ කොටස නිමා විය.
(පිය වග්ගය නිමා විය.)


17. ක්‍රෝධ වර්ගය
(ක්‍රෝධය ගැන වදාළ කොටස)
 
 
17.01.
කෝධං ජහේ විප්පජහෙය්‍ය මානං - සඤ්ඤෝජනං සබ්බමතික්කමෙය්‍ය
තං නාමරූපස්මිං අසජ්ජමානං – අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා මේ ක්‍රෝධය දුරුකරන්ට ඕනෙ. මේ මාන්නය විශේෂයෙන්ම දුරු කළ යුතු දෙයක්. සංසාර බන්ධන ඔක්කොම ඉක්මවා යන්ට ඕනෙ. නාමරූප දෙකේ නොඇලෙන නිකෙලෙස් පුද්ගලයා පිටුපසින් දුක හඹාගෙන යන්නෙ නෑ.
(නීග්‍රෝධාරාමයේදී රෝහිණී කුමරිය අරභයා වදාළ ගාථාවකි ෴)

17.02.
යෝ වේ උප්පතිතං කෝධං - රථං භන්තං’ව ධාරයේ
තමහං සාරථිං බ‍්‍රෑමි – රස්මිග්ගාහෝ ඉතරෝ ජනෝ
යමෙක් තමන් තුළ හටගත් ක්‍රෝධය නැති කරලා දැම්මොත්, ඔහු වේගයෙන් ගමන් කරන රථයක් පාලනය කරලා, නියම පාරට දාගත්තා වගේ. ඔහුට තමයි මං නියම රියදුරා කියන්නෙ. අනිත් උදවිය නිකං රැහැන්පට අල්ලගෙන ඉන්නවා විතරයි.
(අග්ගාලව චේතියේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

17.03.
අක්කෝධේන ජිනේ කෝධං – අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දානේන – සච්චේන අලිකවාදිනං
ක්‍රෝධය ජයගන්ට තිබෙන්නේ ක්‍රෝධ නොකිරීමෙන්මයි. අයහපත ජයගන්ට තිබෙන්නේ යහපතින්මයි. ලෝභකම ජයගන්ට තිබෙන්නේ දන් දීමෙන්මයි. බොරු කියන පුද්ගලයා ජයගන්ට තිබෙන්නේ සත්‍ය වචනයෙන්මයි.
(වේළුවනයේදී උත්තරා කුමරිය අරභයා වදාළ ගාථාවකි ෴)

17.04.
සච්චං භණේ න කුජ්ඣෙය්‍ය – දජ්ජාප්පස්මිම්පි යාචිතෝ
ඒතේහි තීහි ඨානේහි – ගච්ඡේ දේවාන සන්තිකේ
සත්‍යමයි කතාකරන්ට ඕනෙ. කේන්ති ගන්ට හොඳ නෑ. කවුරු හරි යමක් ඉල්ලුවොත්, තියෙන ටිකෙන් හරි ඔහුට දෙන්ට ඕනෙ. ඔය තුන පුරුදු කළොත් තමයි දෙවියන් අතරට යන්නේ.
(ජේතවනාරාමයේදී මුගලන් මහ තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

17.05.
අහිංසකා යේ මුනයෝ – නිච්චං කායේනසංවුතා
තේ යන්ති අච්චුතං ඨානං – යත්ථ ගන්ත්වා න සෝචරේ
ඒ මුනිවරු අහිංසකයි. හැම තිස්සේම කයින් සංවරව ඉන්නවා. යම් තැනකට ගිහින් ශෝක නොකරයි නම්, ඒ මරණ රහිත තැන වන අමා නිවන කරා තමයි ඔවුන් යන්නේ.
(සාකේත නුවර සාකේත බ‍්‍රාහ්මණයා අරභයා වදාළ ගාථාවකි ෴)

17.06.
සදා ජාගරමානානං – අහෝරත්තානුසික්ඛිනං
නිබ්බාණං අධිමුත්තානං – අත්ථ ගච්ඡන්ති ආසවා
හැම තිස්සේම නින්ද පාලනය කරලා, දිවා රාත‍්‍රී දෙකේම ධර්මය තුළ හික්මෙන, නිවනෙහි ඇලුණ සිත් ඇති උතුමන්ගේ කෙලෙස් ඔක්කොම විනාශ වෙලා යනවා.
(රජගහ නුවර පුණ්ණා දාසිය අරභයා වදාළ ගාථාවකි ෴)

17.07.
පෝරාණමේතං අතුල – නේතං අජ්ජතනාමිව
නින්දන්ති තුණ්හිමාසීනං – නින්දන්ති බහුභාණිනං
මිතභාණිම්පි නින්දන්ති – නත්ථි ලෝකේ අනින්දිතෝ
පින්වත් අතුල, මේක අද විතරක් නෙවෙයි. ඈත අතීතයේ ඉඳලා, ඔය විදිහමයි. නිශ්ශබ්දව ඉන්න කොටත්, බණිනවා. වැඩිපුර කතා කළත් බණිනවා. ප‍්‍රමාණයකට කතා කළත් බණිනවා. මේ ලෝකේ නින්දා නොලබපු කෙනෙක් නෑ.
(ජේතවනාරාමයේදී අතුල උපාසක අරභයා වදාළ ගාථාවකි ෴)

17.08.
න චාහු න ච භවිස්සති – න චේතරහි විජ්ජති
ඒකන්තං නින්දිතෝ පෝසෝ - එ්කන්තං වා පසංසිතෝ
තනිකරම නින්දා විතරක් ලැබූ කෙනෙක්වත්, ප‍්‍රශංසා විතරක් ලැබූ කෙනෙක් වත් අතීතයේ හිටියෙත් නෑ. අනාගතයේ ඇතිවෙන්නෙත් නෑ. දැන් වර්තමානයේ දැකගන්ටත් නෑ.
(-එම- ෴)

17.09.
යඤ්චේ විඤ්ඤූ පසංසන්ති – අනුවිච්ච සුවේ සුවේ
අච්ඡිද්දවුත්තිං මේධාවිං – පඤ්ඤාසීලසමාහිතං
බුද්ධිමත් උදවිය යම් කෙනෙකුට ප‍්‍රශංසා කරනවා නම්, ඔහුගේ පිරිසිදු ජීවිත පැවැත්ම, බුද්ධිමත් බව, සිල්වත් බව, සමාධිමත් බව, ප‍්‍රඥාවන්ත බව ආදිය හොඳට විමසලා කරුණු දැනගෙනමයි කළ යුත්තේ.
(-එම- ෴)

17.10.
නෙක්ඛං ජම්බෝනදස්සේව – කෝ තං නින්දිතුමරහති
දේවා’පි නං පසංසන්ති – බ‍්‍රහ්මුනා’පි පසංසිතෝ
එබඳු කෙනෙක් බබලන්නේ දඹරන් රුවක් වගේ. එහෙම කෙනෙකුට නින්දා කරන්ට කව්ද සුදුසු? ඔහුට දෙවියොත් ප‍්‍රශංසා කරනවා. බ‍්‍රහ්මයා පවා ප‍්‍රශංසා කරනවා.
(-එම- ෴)

17.11.
කායප්පකෝපං රක්ඛෙය්‍ය - කායේන සංවුතෝ සියා
කායදුච්චරිතං හිත්වා – කායේන සුචරිතං චරේ
මේ කය ප‍්‍රකෝප කරගන්නෙ නැතුව රැක ගන්ට ඕනෙ. කයින් සංවර වෙන්නට ඕනෙ. කාය දුෂ්චරිතය අත්හැරලා, කාය සුචරිතයේ හැසිරෙන්ට ඕනෙ.
(වේළුවනාරාමයේදී ඡබ්බග්ගිය භික්ෂූන් උදෙසා වදාළ ගාථාවකි ෴)

17.12.
වචීපකෝපං රක්ඛෙය්‍ය – වාචාය සංවුතෝ සියා
වචීදුච්චරිතං හිත්වා – වාචාය සුචරිතං චරේ
වචනය ප‍්‍රකෝප කරගන්නෙ නැතුව රැක ගන්ට ඕනෙ. වචනයෙන් සංවර වෙන්ට ඕනෙ. වචී දුෂ්චරිතය අත්හැරලා, වචනයෙන් සුචරිතයේ හැසිරෙන්ට ඕනෙ.
(-එම- ෴)

17.13.
මනෝපකෝපං රක්ඛෙය්‍ය – මනසා සංවුතෝ සියා
මනෝදුච්චරිතං හිත්වා – මනසා සුචරිතං චරේ
මනස ප‍්‍රකෝප කරගන්නෙ නැතුව රැකගන්ට ඕනෙ. මනසින් සංවර වෙන්ට ඕනෙ. මනෝ දුෂ්චරිතය අත්හැරලා, මනසින් සුචරිතයේ හැසිරෙන්ට ඕනෙ.
(-එම- ෴)

17.14.
කායේන සංවුතා ධීරා – අථෝ වාචාය සංවුතා
මනසා සංවුතා ධීරා – තේ වේ සුපරිසංවුතා
ප‍්‍රඥාවන්ත කෙනා කයෙනුත් සංවරයි. ඒ වගේම වචනයෙනුත් සංවරයි. සිතිනුත් සංවරයි. අන්න ඒ ප‍්‍රඥාවන්ත උදවිය ඒකාන්තයෙන්ම ඉතා හොඳට සංවර වෙනවා. 
(-එම- ෴)
සාදු! සාදු!! සාදු!!!
ක්‍රෝධය ගැන වදාළ කොටස නිමා විය.
(කෝධ වග්ගය නිමා විය.)


18. මල වර්ගය
(මලකඩ ගැන වදාළ කොටස)
 
 
 18.01.
පණ්ඩුපලාසෝ’ව දානි’සි - යමපුරිසා’පි ච තං උපට්ඨිතා
උය්‍යෝගමුඛේ ච තිට්ඨසි - පාථෙය්‍යම්පි ච තේ න විජ්ජති ඔබේ ජීවිතය දැන් ගිලිහී වැටෙන්නට සූදානම් වුණ, හොඳට ම ඉදිච්ච කොළයක් වගේ නේද? දැන් ඔබ ළඟට යමපල්ලොත් ඇවිල්ලයි ඉන්නෙ. ඔබ පිරිහීමේ දොරකඩටම ඇවිල්ල නේද ඉන්නෙ? පරලොව ගමනෙදි මග වියදමට කිසි පිනක් කරගත්තු බවක් පේන්ටත් නෑ.
(ජේතවනාරාමයේදී මහළු උපාසක කෙනෙකු අරභයා වදාළ ගාථාවකි ෴)

18.02.
සෝ කරෝහි දීපමත්තනෝ - ඛිප්පං වායම පණ්ඩිතෝ භව
නිද්ධන්තමලෝ අනංගණෝ - දිබ්බං අරියභූමිමේහිසි
තමන්ට පිහිට පිණිස දිවයිනක් තනාගන්න. ඉක්මනට වීරිය කරන්න. ප‍්‍රඥාවන්තයෙක් වෙන්න. කෙලෙස් මල දුරුකරලා නිකෙලෙස් වෙන්න. දිව්‍ය වූ ආර්ය භූමියට පැමිණෙන්න.
(-එම- ෴)

18.03.
උපනීතවයෝ ච දානි’සි - සම්පයාතෝ’සි යමස්ස සන්තිකේ
වාසෝ’පි ච තේ නත්ථි අන්තරා - පාථෙය්‍යම්පි ච තේ න විජ්ජති
දැන් ඔබ හොඳටම වයසට ගිහිල්ල නේද ඉන්නේ? මරුකටේ නේද ඉන්නෙ? යමයා ළඟටම ගිහින් නේද ඉන්නෙ? ඔබට ජීවිතයත් – මරණයත් අතර වැඩි කාලයක් නෑ. පරලොවදී වියදමට රැස් කරගත්තු කිසි පිනකුත් පේන්න නෑ.
(-එම- ෴)

18.04.
සෝ කරෝහි දීපමත්තනෝ – ඛිප්පං වායාම පණ්ඩිතෝ භව
නිද්ධන්තමලෝ අනංගණෝ - න පුන ජාතිජරං උපේහිසි
තමන්ට පිහිට පිණිස දිවයිනක් තනාගන්න. ඉක්මනට වීරිය කරන්න. ප‍්‍රඥාවන්තයෙක් වෙන්න. කෙලෙස් මල දුරුකරලා නිකෙලෙස් වෙන්න. ආයෙත් නම් ඉපදෙන මැරෙන ලෝකෙට එන්න එපා.
(-එම- ෴)

18.05.
අනුපුබ්බේන මේධාවී – ථෝකථෝකං ඛණේ ඛණේ
කම්මාරෝ රජතස්සේව – නිද්ධමේ මලමත්තනෝ
ප‍්‍රඥාවන්තයා ක‍්‍රම ක‍්‍රමයෙන්, ටිකෙන් ටික ලද අවසරයෙන් සිත නිකෙලෙස් කරගන්ට ඕනෙ. රන්කරුවෙක් රත්තරන්වල තියෙන මලකඩ ටිකෙන් ටික අයින් කරලා පිරිසිදු කරනවා වගේ.
(ජේතවනාරාමයේදී කාළි යක්ෂණිය අරභයා වදාළ ගාථාවකි ෴)

18.06.
අයසා’ව මලං සමුට්ඨිතං - තදුට්ඨාය තමේව ඛාදති
ඒවං අතිධෝනචාරිනං - සකකම්මානි නයන්ති දුග්ගතිං
යකඩයේ හැදෙන මලකඩ විසින්ම ඒ යකඩය කාලා විනාශ කරලා දානවා. අන්න ඒ විදිහටම සතර සතිපට්ඨානයෙන් තොරව, සිව්පසය විතරක් වළඳන්ට ගියොත්, එ් කර්මය විසින්ම තමයි තමාව දුගතියට අරගෙන යන්නේ.
(ජේතවනාරාමයේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

18.07.
අසජ්ඣායමලා මන්තා – අනුට්ඨානමලා ඝරා
මලං වණ්ණස්ස කෝසජ්ජං – පමාදෝ රක්ඛතෝ මලං
නිතර නිතර සජ්ඣායනා නොකළොත්, කටපාඩම් කරපු දේට මල බැඳෙනවා. උත්සාහයෙන් වැඩ නොකළොත්, ගෙදර දොරේ වැඩවලටත් මල බැඳෙනවා. කම්මැලිකමෙන් ඉන්ට ගියොත් ශරීර සෝභාවයටත් මල බැඳෙනවා. කෙත් වතු ආදිය රකින කෙනා ප‍්‍රමාද වුණොත්, එ්වාටත් මල බැඳෙනවා.
(ජේතවනාරාමයේදී ලාලුදායී තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

18.08.
මලිත්ථියා දුච්චරිතං – මච්ඡේරං දදතෝ මලං
මලා වේ පාපකා ධම්මා - අස්මිං ලෝකේ පරම්හි ච
චරිතය නරක් කරගැනීම ස්ත‍්‍රියකට කිලුටක්. දන් දෙන කෙනෙකුට මසුරුකම තිබීම කිලුටක්. පාපී අකුසලයන්, මෙලොව පරලොව දෙකටම ඒකාන්තයෙන්ම කිලුටක්.
(ජේතවනාරාමයේදී එක්තරා කුලපුත‍්‍රයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

18.09.
තතෝ මලා මලතරං – අවිජ්ජා පරමං මලං
ඒතං මලං පහත්වාන – නිම්මලා හෝථ භික්ඛවෝ
ඔය ඔක්කොම මලකඩවලට වඩා, අතිශයින්ම භයානක මලකඩක් තියෙනවා. ඒක තමයි අවිද්‍යාව. පින්වත් මහණෙනි, මේ අවිද්‍යාව නැමැති මලකඩ නැතිකරලා දාලා, නිර්මල වෙන්න.
(-එම- ෴)

18.10.
සුජීවං අහිරිකේන – කාකසූරේන ධංසිනා
පක්ඛන්දිනා පගබ්භේන – සංකිලිට්ඨේන ජීවිතං
පවට ලැජ්ජාවක් නැති, කාක්කෙක් වගේ අනුන්ව සූරාගෙන කන, ගුණමකු, හිතුවක්කාර, කිලුටු ජීවිතයක් ගෙවන කෙනෙකුට ලාභ සත්කාර මැද්දේ පහසුවෙන් ජීවත්වෙන්ට පුළුවන්.
(ජේතවනාරාමයේදී ථුල්ලසාරික තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

18.11.
හිරිමතා ච දුජ්ජීවං – නිච්චං සුචිගවේසිනා
අලීනේනාපගබ්භේන – සුද්ධාජීවේන පස්සතා
නමුත්, පවට ලැජ්ජාව තියෙනවා නම්, නිතරම පිරිසිදු ජීවිතයක් ගැන විමසමින් ඉන්නවා නම්, හිතුවක්කාර නැත්නම්, යහපත් ජීවිතයක් ගෙවන පිරිසිදු සිල්වත් ජීවිතයේ වටිනාකම දන්නවා නම්, අන්න ඒ භික්ෂුව අමාරුවෙන් තමයි ඒ විදිහට ජීවත් විය යුත්තේ.
(-එම- ෴)

18.12.
යෝ පාණමතිපාතේති – මුසාවාදං ච භාසති
ලෝකේ අදින්නං ආදියති – පරදාරං ච ගච්ඡති
යමෙක් ප‍්‍රාණඝාත කරනවා නම්, බොරු කියනව නම් සොරකම් කරනවා නම්, පර ස්ත‍්‍රීන් සේවනය කරනවා නම්,
(ජේතවනාරාමයේදී උපාසකවරුන් පන්සීයක් අරභයා වදාළ ගාථාවකි. ෴)

18.13.
සුරාමේරයපානං ච – යෝ නරෝ අනුයුඤ්ජති
ඉධේව පෝසෝ ලෝකස්මිං – මූලං ඛණති අත්තනෝ
යමෙක් මත්පැන් පානය කරනවා නම්, ඔහු තමන්ගේ ජීවිතයේ තියෙන කුසල් මුල් මෙලොවදී ම විනාශ කරගන්නවා.
(ජේතවනාරාමයේදී නන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

18.14.
ඒවම්භෝ පුරිස ජානාහි – පාපධම්මා අසඤ්ඤතා
මා තං ලෝභෝ අධම්මෝ ච – චිරං දුක්ඛාය රන්ධයුං
පින්වත් පුරුෂය, පව් කියල කියන්නෙ සංවරකම නැති වී යන දෙයක් බව දැනගන්න. ඔය හිතේ ඇතිවෙන ලෝභ, ද්වේෂ ආදිය විසින් ඔබව බොහෝ කලක් දුක් විඳින අපායට ගෙනියන්ට එපා.
(-එම- ෴)

18.15.
දදාති වේ යථා සද්ධං – යථා පසාදනං ජනෝ
තත්ථ වේ මංකු යෝ හෝති – පරේසං පානභෝජනේ
න සෝ දිවා වා රත්තිං වා – සමාධිං අධිගච්ඡුති
කෙනෙක් තමන්ගේ ශ‍්‍රද්ධාවේ ප‍්‍රමාණයටයි ප‍්‍රසාදයේ ප‍්‍රමාණයටයි දන් දෙන්නෙ. ඉතින් ඒ විදිහට අනුන් විසින් දන් දෙන කොට ඒ දානෙ ගැන හිත නරක් කරගන්නවා නම්, ඒ තැනැත්තාට දවාලටවත්, රාත‍්‍රියටවත්, සමාධියක් ඇතිකරගන්ට පුළුවන් වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී තිස්ස භික්ෂුව අරභයා වදාළ ගාථාවකි ෴)

18.16.
යස්ස චේතං සමුච්ඡින්නං – මූලඝච්චං සමූහතං
ස වේ දිවා වා රත්තිං වා – සමාධිං අධිගච්ඡති
යම් කෙනෙකුට මේ හිත නරක්වීම මුලින්ම උදුරලා දාලා නසාගන්ට පුළුවන් වුණොත්, ඇත්තෙන් ම දවල් වේවා, රාත‍්‍රී වේවා, ඕනෑම වෙලාවක සමාධිය ඇතිකරගන්ට පුළුවන්.
(-එම- ෴)

18.17.
නත්ථි රාගසමෝ අග්ගි – නත්ථි දෝසසමෝ ගහෝ
නත්ථි මෝහසමං ජාලං – නත්ථි තණ්හාසමා නදී.
රාගයට සමකරන්ට පුළුවන් වෙන ගින්නක් නෑ. ද්වේෂයට සමකරන්ට පුළුවන් ග‍්‍රහණයවීමකුත් නෑ. මෝහයට සමකරන්ට පුළුවන් දැලකුත් නෑ. තණ්හාවට සමකරන්ට පුළුවන් ගඟකුත් නෑ.
(ජේතවනාරාමයේදී උපාසකවරුන් හත් දෙනෙකු අරභයා වදාළ ගාථාවකි ෴)

18.18.
සුදස්සං වජ්ජමඤ්ඤේසං – අත්තනෝ පන දුද්දසං
පරේසං හි සෝ වජ්ජානි – ඔපුණාති යථා භූසං
අත්තනෝ පන ඡාදේති – කලිං’ව කිතවා සඨෝ
අනුන්ගේ වැරදි නම් බොහොම අගේට පේනවා. නමුත් තමන්ගේ ලොකු වැරැද්දක්වත් පේන්න නෑ. ඒ තැනැත්තා උස්තැනක ඉඳලා රොඩු බොල් පොළනවා වගේ, අනුන්ගේ දොස්මයි හොයන්නෙ. ඒ වුණාට තමන්ගේ ලොකු වැරදි පවා හංගගෙන ඉන්නවා. කොළ-අතුවලින් ඇඟ වහගත්තු කපටි ලිහිණි වැද්දෙක් වගේ.
(භද්දියනුවරදී මෙණ්ඩක සිටුවරයා අරභයා වදාළ ගාථාවකි ෴)

18.19.
පරවජ්ජානුපස්සිස්ස - නිච්චං උප්ඣානසඤ්ඤිනෝ
ආසවා තස්ස වඞ්ඪන්ති – ආරා සෝ ආසවක්ඛයා
අනුන්ගේ වැරදිම නම් හොය හොයා ඉන්නෙ. නිතරම අනුන්ටම නම් දොස් කිය කියා ඉන්නෙ, වැඩෙන්නෙ ආස‍්‍රව විතරයි. ආස‍්‍රව නැතිකිරීම නම්, ඔහුට ඉතාම දුර දෙයක්.
(ජේතවනාරාමයේදී උජ්ඣානසඤ්ඤී තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

18.20.
ආකාසේ පදං නත්ථි – සමණෝ නත්ථි බාහිරේ
පපඤ්චාභිරතා පජා – නිප්පපඤ්චා තථාගතා
කුරුල්ලන්ගේ පියවර සටහනක් අහසේ දකින්ට නෑ. එ් වගේම මාර්ග-ඵල ලාභී ශ‍්‍රමණයෙක් බුදු සසුනෙන් බැහැර, වෙන ආගමක නෑ. මේ සත්ව ප‍්‍රජාව අකුසල්මයි කල්පනා කර කර ඒකට ඇලිලා ඉන්නේ. නමුත් තථාගතයන් වහන්සේලා අකුසල් කල්පනා වලින් තොරව ඉන්නේ.
(පිරිනිවන් මඤ්චකයේදී සුභද්‍ර පිරිවැජියා අරභයා වදාළ ගාථාවකි ෴)

18.21.
ආකාසේ පදං නත්ථි – සමණෝ නත්ථි බාහිරේ
සංඛාරා සස්සතා නත්ථි – නත්ථි බුද්ධානං ඉඤ්ජිතං
කුරුල්ලන්ගේ පියවර සටහනක් ආකාසේ නෑ. ඒ වගේම මාර්ග-ඵල ලාභී ශ‍්‍රමණයෙක් බුදු සසුනෙන් බැහැර, වෙන ආගමක නෑ. හේතු-ඵල දහමෙන් සකස්වෙච්ච කිසි දෙයක් සදාකාලික නෑ. ඒ අස්ථිර දේවල් වෙනස් වෙලා යද්දි බුදුවරයන් වහන්සේලා තුළ ඒ ගැන කිසි කම්පනයක් නෑ.
(-එම- ෴)
සාදු! සාදු!! සාදු!!!
මලකඩ ගැන වදාළ කොටස නිමා විය.
(මල වග්ගය නිමා විය.)


19. ධම්මට්ඨ වර්ගය
(ධර්මයේ පිහිටීම ගැන වදාළ කොටස)
 
 
19.01.
න තේන හෝති ධම්මට්ඨෝ – යේනත්ථං සහසා නයේ
යෝ ච අත්ථං අනත්ථඤ්ච - උභෝ නිච්ඡෙය්‍ය පණ්ඩිතෝ යම් විනිශ්චයකරුවෙක් අසාධාරණ විදිහට නඩු තීන්දු දෙනවා නම්, ඔහුගේ විනිශ්චය තියෙන්නෙ ධර්මයේ පිහිටලා නෙවෙයි. නමුත් නුවණැති කෙනා සාධාරණ පැත්ත අසාධාරණ පැත්ත හොඳ හැටි හඳුනාගෙනයි විනිශ්චයක් දෙන්නෙ.
(ජේතවනාරාමයේදී විනිසුරුවෙකු අරභයා වදාළ ගාථාවකි ෴)

19.02.
අසාහසේන ධම්මේන – සමේන නයතී පරේ
ධම්මස්ස ගුත්තෝ මේධාවී – ධම්මට්ඨෝ’ති පවුච්චති
සාධාරණ විදිහට ධර්මානුකූලව නඩු හබවලදී තීන්දු ගන්නවා නම්, ධර්මයෙන් සුරැකෙන ඒ ප‍්‍රඥාවන්ත කෙනා, විනිශ්චයේදී ද ධර්මයේ පිහිටන බවයි කියන්ට තියෙන්නෙ.
(-එම- ෴)

19.03.
න තේන පණ්ඩිතෝ හෝති – යාවතා බහු භාසති
ඛේමී අවේරී අභයෝ – පණ්ඩිතෝ’ති පවුච්චති
පිරිස් මැද ව්‍යක්ත විදිහට මුඛරිව කතා බස් කළ පමණින් ඔහු නුවණැත්තෙක් වෙන්නෙ නෑ. නමුත්, යම් කෙනෙක් කාටවත් බිය ඇති නොකරයි නම්, වෛරය ඇතිවෙන පංච දුෂ්චරිතයෙන් තොර නම්, අකුසලයෙන් දුරුවෙලා, නිර්භයව ඉන්නවා නම්, ඔහු තමයි සැබෑම නැණවතා.
(ජේතවනාරාමයේදී ඡුබ්බග්ගිය භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

19.04.
න තාවතා ධම්මධරෝ – යාවතා බහු භාසති
යෝ ච අප්පම්පි සුත්වාන – ධම්මං කායේන පස්සති
ස වේ ධම්මධරෝ හෝති - යෝ ධම්මං නප්පමජ්ජති
යම් කෙනෙක් හැම තැනම බණ කියාගෙන ගියත්, එපමණකින් ධර්මධරයෙක් වෙන්නෙ නෑ. නමුත් ධර්මය ටිකක් හරි අහගෙන, ඒ ධර්මය තමා තුළින් දකිනවා නම්, ඒ ධර්මයේ හැසිරෙන්ට ප‍්‍රමාද නැත්නම් ඔහු ඒකාන්තයෙන්ම ධර්මධරයෙක්.
(ජේතවනාරාමයේදී ඒකෝධාන තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

19.05.
න තේන ථේරෝ හෝති – යේනස්ස පලිතං සිරෝ
පරිපක්කෝ වයෝ තස්ස – මෝඝජිණ්ණෝ’ති වුච්චති
යම් කිසි භික්ෂුවක් වයසට ගිහින් කෙස් ඉදුණු පමණින් ඒ හේතුව නිසා, ඔහුට ස්ථවිර කියන්ට බෑ. ඔහුගේ වයස මෝරලා ගියා විතරයි. දිරාගිය හිස් පුද්ගලයා කියලයි කිවයුතු වන්නේ.
(ජේතවනාරාමයේදී ලකුණ්ඨකභද්දිය තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

19.06.
යම්හි සච්චං ච ධම්මෝ ච – අහිංසා සංයමෝ දමෝ
ස වේ වන්තමලෝ ධීරෝ – ථේරෝ ඉති පවුච්චති
යමෙක් තුළ සත්‍යයත්, ධර්මයත් තියෙනව නම්, අහිංසක බවත්, සංවරකමත්, ඉන්ද්‍රිය දමනයත් තියෙනවා නම් ඇත්තෙන්ම ඔහු රාගාදී අකුසල් වමාරලා දාපු ප‍්‍රඥාවන්ත කෙනෙක්. අන්න ඒ භික්ෂුවටයි ‘ස්ථවිර’ කියා කිවයුත්තේ.
(-එම- ෴)

19.07.
න වාක්කරණමත්තේන – වණ්ණපොක්ඛරතාය වා
සාධුරූපෝ නරෝ හෝති – ඉස්සුකී මච්ඡරී සඨෝ
කටහඬ මිහිරට තිබුණා කියලා, රූපේ ලස්සනට තිබුණා කියලා, යහපත් වෙන්නෙ නෑ. ඔහු තුළ ඉරිසියාව, මසුරුකම, කපටිකම තියෙනවා නම්, ඔහු හොඳ කෙනෙක් වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී බොහෝ භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

19.08.
යස්ස චේ තං සමුච්ඡින්නං – මූලඝච්චං සමූහතං
ස වන්තදෝසෝ මේධාවී – සාධුරූපෝ’ති වුච්චති
යම් කෙනෙක් ඔය දුර්වලකම් මුලින්ම නැතිකරලා දාලා නම් තියෙන්නෙ, ඔහු ඒ දුර්වලකම් වමාරලා දාපු ප‍්‍රඥාවන්තයෙක්. ‘යහපත් කෙනා’ කියලා කිව යුත්තේ ඒ පුද්ගලයාටයි.
(-එම- ෴)

19.09.
න මුණ්ඩකේන සමණෝ – අබ්බතෝ අලිකං භණං
ඉච්ඡුාලෝභසමාපන්නෝ – සමණෝ කිං භවිස්සති
හොඳට හිස රැුවුල් බාලා හිටියා කියලා, ශ‍්‍රමණයෙක් වෙන්නෙ නෑ. ඔහු තුළ සීලයක් නැත්නම්, බොරුම නම් කියන්නෙ, පාපී ආශාවන් වලින් යුක්ත වෙලා, ලෝභකමින්ම නම් ඉන්නෙ, ඔහු ශ‍්‍රමණයෙක් වෙන්නෙ කොහොමද?
(ජේතවනාරාමයේදී හත්ථක තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

19.10.
යෝ ච සමේති පාපානි – අණුංථූලානි සබ්බසෝ
සමිතත්තා හි පාපානං – සමණෝ’ති පවුච්චති
යම් කෙනෙක් පොඩි දෙයක් වේවා, ලොකු දෙයක් වේවා, හැම පාපී අකුසලයක්ම සංසිඳුවා දැම්මොත්, ඒ පාපී අකුසල් සංසිඳවා දැමීම නිසයි, ඔහුට ‘ශ‍්‍රමණයා’ කියල කියන්නෙ.
(-එම- ෴)

19.11.
න තේන භික්ඛු හෝති – යාවතා භික්ඛතේ පරේ
විස්සං ධම්මං සමාදාය – භික්ඛු හෝති න තාවතා
කොපමණ කළක් පිණ්ඩපාතෙ කරගෙන, අනුන්ගෙන් ලැබෙන දේ වැළඳුවත්, ඒ හේතුව නිසා ඔහු භික්ෂුවක් වෙන්නෙ නෑ. පාපී දේට පුරුදු වෙලා ඉන්න තාක්, කෙනෙක් භික්ෂුවක් වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී එක්තරා පිරිවැජි බ‍්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

19.12.
යෝ’ධ පුඤ්ඤඤ්ච පාපඤ්ච – බාහෙත්වා බ‍්‍රහ්මචරිය වා
සංඛාය ලෝකේ චරති – ස චේ භික්ඛූ’ති වුච්චති
යමෙක් මේ ශාසනය තුළ ගුණදම් දියුණු කරලා, අවබෝධයෙන්ම පින් පව් බැහැර කරලා, බඹසර හැසිරෙනවා නම්, නුවණින් යුක්තව ලෝකේ හැසිරෙනවා නම්, අන්න ඔහු තමයි භික්ෂුව කියන්නෙ.
(-එම- ෴)

19.13.
න මෝනේන මුනි හෝති – මූළ්හරූපෝ අවිද්දසු
යෝ ච තුලං’ව පග්ගය්හ – වරමාදාය පණ්ඩිතෝ
ප‍්‍රඥා රහිත කෙනා මෝඩ ස්වරූපයෙන් කතා බස් නොකොට හිටියා කියලා ඒ විදිහට මුනිවත රැක්කා කියලා, මුනිවරයෙක් වෙන්නෙ නෑ. නුවණැත්තා උතුම් දේ අරගන්නෙ, තරාදියකින් මැනලා ගන්නවා වගේ.
(ජේතවනාරාමයේදී අන්‍යාගමික තවුසන් අරභයා වදාළ ගාථාවකි ෴)

19.14.
පාපානි පරිවජ්ජේති – ස මුනී තේන සෝ මුනී
යෝ මුනාති උභෝ ලෝකේ – මුනි තේන පවුච්චති
පාපී අකුසල් දුරු කරගත්තොත්, අන්න ඔහු තමයි මුනිවරයා. එ් කරුණින්මයි ඔහු මුනිවරයෙක් වුණේ. ආධ්‍යාත්මික, බාහිර ලෝකය නුවණින් බෙදා විමසා අවබෝධ කරන නිසා, ඒ කරුණිනුත් ඔහුට මුනිවරයා කියනවා.
(-එම- ෴)

19.15.
න තේන අරියෝ හෝති – යේන පාණානි හිංසති
අහිංසා සබ්බපාණානං – අරියෝ’ති පවුච්චති
යමෙක් ප‍්‍රාණීන්ට හිංසා කරනවා නම්, ඔහුට ‘ආර්ය’ කියල නම තිබූ පමණින් ‘ආර්ය’ වෙන්නෙ නෑ. සියලු ප‍්‍රාණීන් කෙරෙහි අහිංසාවෙන් යුතු කෙනාටයි ‘ආර්ය’ කියලා කියන්නෙ.
(ජේතවනාරාමයේදී ආර්ය නම් බිලී වැද්දෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

19.16.
න සීලබ්බතමත්තේන – බාහුසච්චේන වා පුන
අථ වා සමාධිලාභේන – විවිච්ච සයනේන වා
වත් පිළිවෙත් කරලා, සිල් රැක්ක පමණින්, බණ දහම් ඉගෙන ගෙන බහුශ‍්‍රැත වෙච්ච පමණින්, සමාධියක් ඇතිකරගත්තු පමණින්, දුර ඈත වන සෙනසුන්වල සිටිය පමණින් ජීවිතය සම්පූර්ණයි කියලා හිතන්න එපා.
(ජේතවනාරාමයේදී බොහෝ භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

19.17.
ඵුසාමි නෙක්ඛම්මසුඛං – අපුථුජ්ජනසේවිතං
භික්ඛු විස්සාසමාපාදි – අප්පත්තෝ ආසවක්ඛයං
පින්වත් භික්ෂුව, පෘථග්ජනයන්ට ලබාගන්ට බැරි, ආර්යන් වහන්සේලා විතරක් ලබන නෙක්ඛම්ම සුවයක් තියෙනවා. ‘මමත් ඒක ලබනවා’ කියල හිතන්ට ඕනෙ. අරහත් ඵලයට පත්වන තෙක්ම මේ භවය ගැන විශ්වාස කරන්නට එපා.
(-එම- ෴)
සාදු! සාදු!! සාදු!!!
ධර්මයේ පිහිටීම ගැන වදාළ කොටස නිමා විය.
(ධම්මට්ඨ වග්ගය නිමා විය.)


20. මග්ග වර්ගය
(ඒ අමා නිවන් මග ගැන වදාළ කොටස)
 
 
20.01.
මග්ගානට්ඨංගිකෝ සෙට්ඨෝ – සච්චානං චතුරෝ පදා
විරාගෝ සෙට්ඨෝ ධම්මානං – දිපදානං ච චක්ඛුමා අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලවල් අතරේ පරම ශ්‍රේෂ්ඨ වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සත්‍යයන් අතුරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ චතුරාර්ය සත්‍යයයි. ධර්මයන් අතුරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ විරාගී නිවනයි. දෙපා ඇති මිනිසුන් අතරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ සදහම් ඇස් ඇති බුදු සමිඳුයි.
(ජේතවනාරාමයේදී පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

20.02.
ඒසෝ’ව මග්ගෝ නත්ථඤ්ඤෝ – දස්සනස්ස විසුද්ධියා
ඒතං හි තුම්හේ පටිපජ්ජථ – මාරස්සේතං පමෝහනං
ආර්ය සත්‍යාවබෝධය තුළින් පිරිසිදු වෙන්ට නම්, මේ මාර්ගය විතරමයි තියෙන්නෙ. වෙන මාර්ගයක් නෑ. ඔබත් මේ මාර්ගයම පිළිපදින්න. මේ මාර්ගයෙන් තමයි මාරයාව රවට්ටන්න පුළුවන් වෙන්නෙ.
(-එම- ෴)

20.03.
ඒතං හි තුම්හේ පටිපන්නා – දුක්ඛස්සන්තං කරිස්සථ
අක්ඛාතෝ වේ මයා මග්ගෝ – අඤ්ඤාය සල්ලසත්ථනං
ඔබ මේ අර්ය අෂ්ටාංගික මාර්ගයම අනුගමනය කරලා, මේ සසර දුක අවසන් කරල දාන්න. රාගාදී කෙලෙස් හුල් උදුරලා දාන මේ මාර්ගය මං ඔබට කියා දෙන්නෙ ප‍්‍රත්‍යක්ෂ අවබෝධයෙන්මයි.
(-එම- ෴)

20.04.
තුම්හේහි කිච්චං ආතප්පං – අක්ඛාතාරෝ තථාගතා
පටිපන්නා පමොක්ඛන්ති – ඣායිනෝ මාරබන්ධනා
පින්වත් මහණෙනි, දුකෙන් නිදහස් වෙන්ට වීරිය අරගෙන, නිවන අවබෝධ කළ යුත්තේ ඔබ විසින්මයි. ඒ වෙනුවෙන් තථාගතයන් වහන්සේලා කරන්නෙ නිවන් මග කියාදෙන එක විතරයි. මේ නිවන් මග පිළිපැද්දොත්, ධ්‍යාන වැඩුවොත්, මේ මාර බන්ධනයෙන් ඔබ නිදහස් වෙලා යනවා.
(-එම- ෴)

20.05.
සබ්බේ සංඛාරා අනිච්චා’ති – යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ – ඒස මග්ගෝ විසුද්ධියා
හේතූන්ගෙන් සකස්වුන හැම දෙයක්ම අනිත්‍ය වෙලා යන බව යම් දවසක ප‍්‍රඥාවෙන් අවබෝධ කළොත්, අන්න එදාටයි මේ දුක ගැන කළකිරෙන්නෙ. නිවන් මග වෙන්නෙත් ඒකමයි.
(ජේතවනාරාමයේදී එක්දහස් පන්සියයක් පමණ භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

20.06.
සබ්බේ සංඛාරා දුක්ඛා’ති – යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ – ඒස මග්ගෝ විසුද්ධියා
හේතූන්ගෙන් සකස්වුන හැම දෙයක්ම දුකක් බව යම් දවසක ප‍්‍රඥාවෙන් අවබෝධ කළොත්, අන්න එදාටයි මේ දුක ගැන කළකිරෙන්නෙ. නිවන් මග වෙන්නෙත් එ්කමයි.
(-එම- ෴)

20.07.
සබ්බේ සංඛාරා අනත්තා’ති – යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ – ඒස මග්ගෝ විසුද්ධියා
හැම දෙයක්ම අනාත්ම බව යම් දවසක ප‍්‍රඥාවෙන් අවබෝධ කළොත්, අන්න එදාටයි මේ දුක ගැන කළකිරෙන්නෙ. නිවන් මග වෙන්නෙත් එ්කමයි.
(-එම- ෴)

20.08.
උට්ඨානකාලම්හි අනුට්ඨහානෝ – යුවා බලී ආලසියං උපේතෝ
සංසන්නසංකප්පමනෝ කුසීතෝ – පඤ්ඤාය මග්ගං අලසෝ න වින්දති
වීරිය කරන්ට ඕනෙ වෙලාවෙදි වීරිය කරන්නෙ නැත්නම්, ඇඟේ පතේ හයිය තියෙන වෙලාවෙ, කම්මැලි කමෙන් හිටියොත්, ලාමක දේවල් ගැන හිත හිත හිටියොත්, කුසීත වෙලා හිටියොත්, ඒ කම්මැලියාට ප‍්‍රඥාවෙන් දියුණු කරගත යුතු ආර්ය මාර්ගය නොලැබී යනවා.
(ජේතවනාරාමයේදී පධානකම්මිකතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

20.09.
වාචානුරක්ඛී මනසා සුසංවුතෝ – කායේන ච අකුසලං න කයිරා
එ්තේ තයෝ කම්මපථේ විසෝධයේ – ආරාධයේ මග්ගං ඉසිප්පවේදිතං
වචනය රැකගන්නවා නම්, සිත සංවර කරගන්නවා නම්, කයෙනුත් අකුසල් කරන්නෙ නැත්නම්, ඔය විදිහට කර්ම රැස්වෙන මාර්ග තුනම පිරිසිදු කරගන්නවා නම් අන්න ඒ තැනැත්තාට, අරහත් ඍෂිවරුන් අවබෝධයෙන්ම වදාළ ඒ නිවන් මග සම්පූර්ණ කරගන්ට පුළුවන්.
(ජේතවනාරාමයේදී සූකර පේ‍්‍රතයා අරභයා වදාළ ගාථාවකි ෴)

20.10.
යෝගා වේ ජායති භූරි – අයෝගා භූරිසංඛයෝ
ඒතං ද්වේධා පථං ඤත්වා – භවාය විභවාය ච
තථත්තානං නිවේසෙය්‍ය – යථා භූරි පවඞ්ඪති
ඇත්තෙන්ම සමථ – විදර්ශනා භාවනාවෙන් මයි ප‍්‍රඥාව වැඩෙන්නෙ. භාවනා නො කළොත්, ප‍්‍රඥාව විනාශ වෙනවා. ඒ නිසා දියුණුව පිණිසත්, පිරිහීම පිණිසත් පවතින ඔය මාර්ග දෙක තේරුම් ගන්ට ඕනෙ. ප‍්‍රඥාව වැඩෙන්නේ යම් මගකින් නම්, අන්න ඒ මාර්ගයේ තමයි ජීවිතය යොදවන්ට තියෙන්නෙ.
(ජේතවනාරාමයේදී පෝඨිල තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

20.11.
වනං ඡින්දථ මා රුක්ඛං – වනතෝ ජායතී භයං
ඡෙත්වා වනඤ්ච වනථඤ්ච – නිබ්බනා හෝථ භික්ඛවෝ
පින්වත් මහණෙනි, ඔය කෙලෙස් වනය කපලා දාන්න. හැබැයි වනාන්තරයේ ගස් කපන්ට එපා. කෙලෙස් වනයෙන් තමයි බිය හටගන්නෙ. මහ කෙලෙස් වනයත්, පොඩි කෙලෙස් වනයත් දෙකම කපලා දාලා, කෙලෙස් වනයකින් තොර කෙනෙක් වෙන්න.
(ජේතවනාරාමයේදී මහළු භික්ෂූන් පිරිසක් අරභයා වදාළ ගාථාවකි ෴)

20.12.
යාවං වනථෝ න ඡිජ්ජති – අනුමත්තෝ’පි නරස්ස නාරිසු
පටිබද්ධමනෝ’ව තාව සෝ – වච්ඡෝ ඛීරපකෝ’ව මාතරි
කාන්තාවක් පිළිබඳව පුරුෂයාගේ හිතේ, අල්පමාත‍්‍ර වූ තෘෂ්ණාවක් පවා නොසිඳී තිබුණොත්, ඒකටම හිත දුවනවා. මව් වැස්සී පස්සේ දුවන කිරි බොන වහුපැටියා වගේ.
(-එම- ෴)

20.13.
උච්ඡින්ද සිනේහමත්තනෝ – කුමුදං සාරදිකං’ව පාණිනා
සන්තිමග්ගමේව බ‍්‍රෑහය – නිබ්බාණං සුගතේන දේසිතං
සරත් කාලෙ කුමුදු මලක් අතින් කඩලා දානවා වගේ, තමන් තුළ තියෙන තෘෂ්ණාව ප‍්‍රඥාවෙන් කඩලා දාන්ට ඕනෙ. සුගතයන් වහන්සේ විසින් ඒ අමා නිවන ගැන කියා දීලයි තියෙන්නෙ. ඒ නිසා නිවනට පමුණුවන ආර්ය මාර්ගයේමයි ගමන් කරන්ට ඕනෙ.
(ජේතවනාරාමයේදී සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

20.14.
ඉධ වස්සං වසිස්සාමි – ඉධ හේමන්ත ගිම්හිසු
ඉති බාලෝ විචින්තේති – අන්තරායං න බුජ්ඣති
මං මේ පාර වස් කාලෙ මෙහෙ තමයි ඉන්නෙ. සීත කාලෙත් මෙහෙම ඉන්නවා. පායන කාලෙටත් මෙහෙ තමයි ඉන්ට වෙන්නෙ. ජීවිතය ගැන අවබෝධයක් නැති කෙනා ඔය විදිහට හිත හිතා ඉන්නවා. ඔය අතරෙ තමන්ට සිදුවෙන ජීවිත අනතුරු ගැන කිසිම අවබෝධයක් නෑ.
(ජේතවනාරාමයේදී වෙළඳ නායකයෙකු අරභයා වදාළ ගාථාවකි ෴)

20.15.
තං පුත්තපසුසම්මත්තං – බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝෝ’ව – මච්චු ආදාය ගච්ඡති
සමහර උදවිය තමන්ගේ දූ දරුවන් ගැන, සතා සිව්පාවා ගැන, හිතින් බැඳිලා, එයින් මත්වෙලා කල් ගෙවනවා. අන්තිමේදී මාරයා ඇවිදින් ඔවුන්ව මරණය කරා ගෙනියන්නෙ, සැඩ වතුර පහරක් විසින් නිදිගත් ගමක් මුහුදට ගසාගෙන යනවා වගේ.
(ජේතවනාරාමයේදී කිසාගෝතමිය අරභයා වදාළ ගාථාවකි ෴)

20.16.
න සන්ති පුත්තා තාණාය – න පිතා නපි බන්ධවා
අන්තකේනාධිපන්නස්ස – නත්ථි ඤාතිසු තාණතා
මාරයා විසින් යටකරගත්තු සත්වයාට ආරක්ෂා ස්ථානයක් දූ දරුවන්ගෙන් ලැබෙන්නෙ නෑ. පියාගෙන් ලැබෙන්නෙත් නෑ. නෑදෑයන්ගෙන් ලැබෙන්නෙත් නෑ. ඒ ඤාතින් තුළ ඔහුට සැබෑම රැකවරණයක් ලැබෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී පටාචාරාව අරභයා වදාළ ගාථාවකි ෴)

20.17.
ඒතමත්ථවසං ඤත්වා – පණ්ඩිතෝ සීලසංවුතෝ
නිබ්බාණගමනං මග්ගං – ඛිප්පමේව විසෝධයේ
ඔය යථාර්ථය අවබෝධ කරගත් බුද්ධිමත් කෙනා සීලයෙන් සංවර වෙන්ට ඕනෙ. වහ වහාම නිවන් මග පිරිසිදු කරගන්ට ඕනෙ.
(-එම- ෴)
සාදු! සාදු!! සාදු!!!
එ් අමා නිවන් මග ගැන වදාළ කොටස නිමා විය.
(මග්ග වග්ගය නිමා විය.)


21. පකිණ්ණක වර්ගය
(දහම් කරුණු මිශ්‍රව ඇතුළත් කොටස)
 
 
 
21.01.
මත්තාසුඛපරිච්චාගා – පස්සේ චේ විපුලං සුඛං
චජේ මත්තාසුඛං ධීරෝ – සම්පස්සං විපුලං සුඛං ඉතා විශාල සැපයක් බලාපොරොත්තු වෙන කෙනාට, ඒ වෙනුවෙන් සුළු සැපය අත්හරින්ට පුළුවන් වෙන්ට ඕනෙ. ප‍්‍රඥාවන්ත කෙනා ඉතා විශාල සැපයක් වන ඒ අමා නිවන් කැමතිව, ඉතා සුළු වූ කම්සැපය අත්හරිනවා.
(වේළුවනයේදී බුදු සමිඳුන්ගේ අතීත ජීවිතය අරභයා වදාළ ගාථාවකි ෴)

21.02.
පරදුක්ඛූපදානේන – අත්තනෝ සුඛමිච්ඡති
වේරසංසග්ගසංසට්ඨෝ – වේරා සෝ න පරිමුච්චති
අනුන්ට දුක් දීලා, තමන් විතරක් සැප විඳින්ට හිතුවොත් ඔහුට එකතු වෙන්ට වෙන්නෙ වෛරයක් සමගයි. වෛරයෙන් නිදහස් වෙන්ට නම් ලැබෙන්නෙ නෑ.
(සැවැත් නුවරදී කිකිළි බිජු කෑ ස්ත‍්‍රියක අරභයා වදාළ ගාථාවකි ෴)

21.03.
යං හි කිච්චං තදපවිද්ධං – අකිච්චං පන කයිරති
උන්නලානං පමත්තානං – තේසං වඞ්ඪන්ති ආසවා
යම් කෙනෙක් ධර්මයේ හැසිරීම ආදී කළ යුතු උතුම් දේ අත්හරිනවා නම්, නොකළ යුතු දේවල් කරනවා නම්, මාන්නයෙන් ඉදිමී, ප‍්‍රමාදයෙන් ඉන්නවා නම්, ඔහු තුළ වැඩෙන්නෙ කෙලෙස් විතරයි.
(භද්දිය නුවරදී භද්දිය තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

21.04.
යේසඤ්ච සුසමාරද්ධා – නිච්චං කායගතා සති
අකිච්චං තේ න සේවන්ති – කිච්චේ සාතච්චකාරිනෝ
සතානං සම්පජානානං – අත්ථං ගච්ඡුන්ති ආසවා
නමුත් යම්, කෙනෙක් කායානුපස්සනාවේ නිතරම ඉතා හොඳින් සිහිය පිහිටුවාගෙන ඉන්නවා නම්, ඔවුන් නොකළ යුතු දේවල් කරන්ට යන්නෙ නෑ. කළ යුතු දේ තමයි හැම තිස්සෙම කරන්නෙ. ඉතා හොඳ සිහි නුවණින් යුක්තව කල් ගෙවන කොට, ඔවුන්ගෙ කෙලෙස් විනාශ වෙලා යනවා.
(-එම- ෴)

21.05.
මාතරං පිතරං හන්ත්වා – රාජානෝ ද්වේ ච ඛත්තියේ
රට්ඨං සානුචරං හන්ත්වා – අනීඝෝ යාති බ‍්‍රාහ්මණෝ
සසර දුක උපදවන මේ තෘෂ්ණාව නැමැති අම්මාත්, අහංකාරකම නැමැති පියාත් වනසන්ට ඕනෙ. ශාස්වත, උච්‍ඡේද දෘෂ්ටි නැමැති රජවරු දෙන්නාත්, වනසන්ට ඕනෙ. ආධ්‍යාත්මික බාහිර ආයතන නැමැති රටත්, එහි හැසිරෙන ප‍්‍රධානියා නැමැති නන්දිරාගයත් වනසන්ට ඕනෙ. අන්න එ් සියල්ල ප‍්‍රඥාවෙන් වනසලා, දුකෙන් තොරව සිටින අරහත් බ‍්‍රාහ්මණයා නිවන කරා ම යනවා.
(ජේතවනාරාමයේදී ලකුණ්ටක භද්දිය තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

21.06.
මාතරං පිතරං හන්ත්වා - රාජානෝ ද්වේ ච සොත්තියේ
වෙය්‍යග්ඝපඤ්චමං හන්ත්වා - අනීඝෝ යාති බ‍්‍රාහ්මණෝ
සසර දුක උපදවන මේ තෘෂ්ණාව නැමැති අම්මාත්, අස්මිමානය නැමැති පියාවත් නසන්ට ඕනෙ. ශාස්වත, උච්ඡේද දෘෂ්ටි නැමැති බ‍්‍රාහ්මණරජවරු දෙන්නවත්, නසන්ට ඕනෙ. විචිකිච්ඡාව පස්වෙනුවට තියෙන පංච නීවරණ නැමැති ව්‍යාඝ‍්‍රයන්ගේ මාර්ගයත් නසන්ට ඕනෙ. අන්න ඒ දේවල් නසා දමා දුක් නැතිකරගෙන අරහත් බ‍්‍රාහ්මණයා නිවන කරාම යනවා.
(-එම- ෴)

21.07.
සුප්පබුද්ධං පබුජ්ඣන්ති – සදා ගෝතමසාවකා
යේසං දිවා ච රත්තෝ ච – නිච්චං බුද්ධගතා සති
යමෙක් දවාලටත් රාත‍්‍රියටත් නිතරම බුද්ධානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ‍්‍රාවකයෝ හැමදාම ඉතා ප‍්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ.
(ජේතවනාරාමයේදී දාරුසාකටික කුඩා දරුවා අරභයා වදාළ ගාථාවකි ෴)

21.08.
සුප්පබුද්ධං පබුජ්ඣන්ති – සදා ගෝතමසාවකා
යේසං දිවා ච රත්තෝ ච – නිච්චං ධම්මගතා සති
යමෙක් දවාලටත් රාත‍්‍රියටත් නිතරම ධම්මානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ‍්‍රාවකයෝ හැමදාම ඉතා ප‍්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ.
(-එම- ෴)

21.09.
සුප්පබුද්ධං පබුජ්ඣන්ති – සදා ගෝතමසාවකා
යේසං දිවා ච රත්තෝ ච – නිච්චං සංඝගතා සති
යමෙක් දවාලටත් රාත‍්‍රියටත් නිතරම සංඝානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ‍්‍රාවකයෝ හැමදාම ඉතා ප‍්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ.
(-එම- ෴)

21.10.
සුප්පබුද්ධං පබුජ්ඣන්ති – සදා ගෝතමසාවකා
යේසං දිවා ච රත්තෝ ච – නිච්චං කායගතා සති
යමෙක් දවාලටත් රාත‍්‍රියටත් නිතරම කායානුපස්සනා භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ‍්‍රාවකයෝ හැමදාම ඉතා ප‍්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ.
(-එම- ෴)

21.11.
සුප්පබුද්ධං පබුජ්ඣන්ති – සදා ගෝතමසාවකා
යේසං දිවා ච රත්තෝ ච – අහිංසාය රතෝ මනෝ
යමෙක් දවාලටත් රාත‍්‍රියටත් නිතරම අහිංසාවේ ඇලුණු සිතින් ඉන්නවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ‍්‍රාවකයෝ හැමදාම ඉතා ප‍්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ.
(-එම- ෴)

21.12.
සුප්පබුද්ධං පබුජ්ඣන්ති – සදා ගෝතමසාවකා
යේසං දිවා ච රත්තෝ ච – භාවනාය රතෝ මනෝ
යමෙක් දවාලටත් රාත‍්‍රියටත් නිතරම සමථ විදර්ශනා භාවනාවේ ඇලී වාසය කරනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ‍්‍රාවකයෝ හැමදාම ඉතා ප‍්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ.
(-එම ෴)

21.13.
දුප්පබ්බජ්ජං දුරභිරමං – දුරාවාසා ඝරා දුඛා
දුක්ඛෝ’සමානසංවාසෝ – දුක්ඛානුපතිතද්ධගූ
තස්මා න චද්ධගු සියා – දුක්ඛානුපතිතෝ සියා
බුදු සසුනක උතුම් පැවිදි බව ලැබීම ඉතා දුෂ්කර දෙයක්. පැවිදි වුණ කෙනෙකුට ඒ පැවිද්දෙහි (සතර සතිපට්ඨානයේ* සිත් අලවා වාසය කිරීමත් දුෂ්කර දෙයක්. ගිහි ගෙවල්වල වාසය කිරීමත් මහා දුකක්. අසමාන අදහස් ඇති උදවියත් සමඟ එකට ඉන්ට ලැබීමත් දුකක්. සසර නැමැති දුරු කතරට ඇද වැටීමත් දුකක්. ඒ නිසා සසර නැමැති දුරු කතරට ඇද නොවැටෙන කෙනෙක් වෙන්ට ඕනෙ. සසර දුකට නොවැටෙන කෙනෙක් වෙන්ට ඕනෙ.
(විසාලා මහනුවරදී වජ්ජිපුත්තක තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

21.14.
සද්ධෝ සීලේන සම්පන්නෝ - යසෝභෝගසමප්පිතෝ
යං යං පදේසං භජති – තත්ථ තත්ථේව පූජිතෝ
තිසරණය කෙරෙහි ශ‍්‍රද්ධාව පිහිටුවාගත්, සීලවන්ත, ගිහි ශ‍්‍රාවකයා යසසිනුත්, භෝග සම්පත් වලිනුත් යුක්ත නම්, ඔහු කොයි පළාතකට ගියත්, ගිය ගිය තැන පුද සත්කාර ලබනවා.
(ජේතවනාරාමයේදී චිත්ත ගෘහපතියා අරභයා වදාළ ගාථාවකි ෴)

21.15.
දූරේ සන්තෝ පකාසෙන්ති - හිමවන්තෝ’ව පබ්බතෝ
අසන්තෙත්ථ න දිස්සන්ති – රත්තිං ඛිත්තා යථා සරා
ශාන්ත පුද්ගලයන් කොයිතරම් දුරක සිටියත්, සම්බුදු නුවණට ඔවුන්ව පෙනෙන්නෙ ඈතට පෙනෙන හිමාල පර්වතය වගේ. නමුත් අඥාන පුද්ගලයෙක්ව ඒ විදිහට පේන්නේ නෑ. රාත‍්‍රී කාලෙ විදපු ඊතලයක් වගේ.
(ජේතවනාරාමයේදී චූළ සුභද්‍රා කුමරිය අරභයා වදාළ ගාථාවකි ෴)

21.16.
ඒකාසනං ඒකසෙය්‍යං – ඒකෝ චරමතන්දිතෝ
ඒකෝ දමයමත්තානං – වනන්තේ රමිතෝ සියා
හුදෙකලාවේමයි ඉන්ට ඕනෙ. හුදෙකලාවේ මයි නිදන්ටත් ඕනෙ. කිසි කම්මැලිකමක් නැතුව, හුදෙකලාවේම තමන්ව දමනය කරගෙන, වනාන්තරේක වාසය කරමින් එහිමයි ඇලී ඉන්ට ඕනෙ.
(ජේතවනාරාමයේදී ඒකවිහාරීය තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
සාදු! සාදු!! සාදු!!!
ධර්ම කරුණු මිශ‍්‍රව ඇතුළත් කොටස නිමා විය.
(පකිණ්ණක වග්ගය නිමා විය.)


22. නිරය වර්ගය
(නිරය ගැන වදාළ කොටස)
 
 
 
22.01.
අභූතවාදී නිරයං උපේති - යෝ චාපි කත්වා න කරෝමීති චාහ
උභෝ’පි තේ පෙච්ච සමා භවන්ති - නිහීනකම්මා මනුජා පරත්ථ අනුන්ට අභූත චෝදනා කරන කෙනාට නිරයේ තමයි උපදින්ට වෙන්නෙ. තමන් යම් පවක් කරලා, ඒක කළේ නැතෙයි කියන කෙනාත්, නිරයේම තමයි උපදින්නෙ. පහත් ක‍්‍රියා වලින් යුතු ඒ මිනිස්සු දෙන්නම මැරිලා ගිය දවසක නිරයේ ඉපදීමෙන් සමාන වෙනවා.
(ජේතවනාරාමයේදී සුන්දරී පරිබ‍්‍රාජිකාව අරභයා වදාළ ගාථාවකි ෴)

22.02.
කාසාවකණ්ඨා බහවෝ – පාපධම්මා අසඤ්ඤතා
පාපා පාපේහි කම්මේහි – නිරයං තේ උපපජ්ජරේ
කිසි සංවරකමක් නැති, පාපී අකුසල් ඇති බොහෝ දෙනෙක් සිවුර විතරක් බෙල්ලෙ ඔතාගෙන ඉන්නවා. ඒ පවිටු පුද්ගලයන් තමන්ම කරගෙන යන පව් නිසා, ගිහින් උපදින්නේ නිරයේ.
(වේළුවනයේදී පේ‍්‍රතව දුක් විඳින පිරිසක් අරභයා වදාළ ගාථාවකි ෴)

22.03.
චත්තාරි ඨානානි නරෝ පමත්තෝ - ආපජ්ජති පරදාරූපසේවී
අපුඤ්ඤලාභං න නිකාමසෙය්‍යං - නින්දං තතියං නිරයං චතුත්ථං
පර ස්ත‍්‍රීන් සේවනය කරන, ප‍්‍රමාදී පුද්ගලයා, කරදර හතරකට ගොදුරු වෙනවා. පළවෙනි එක පව් රැස්වීම, හිතේ චකිතය නිසා, සතුටක් විඳින්ට නැතිකම දෙවැන්නයි. තුන්වෙනි එක නින්දාවයි. සතරවැන්න නිරයේ ඉපදීමයි.
(සැවැත් නුවරදී ඛේම සිටුවරයා අරභයා වදාළ ගාථාවකි ෴)

22.04.
අපුඤ්ඤලාභෝ ච ගතී ච පාපිකා - භීතස්ස භීතාය රතී ච ථෝකිකා
රාජා ච දණ්ඩං ගරුකං පණේති - තස්මා නරෝ පරදාරං න සේවේ
පව් රැස්කරගත්තු කෙනෙකුගේ උපතත් පාපිමයි. බියේ ගැහි ගැහී, තවත් බයවෙච්ච කාන්තාවක් එක්ක ඇතිකරගත්ත ඔය කාම සේවනයෙන් ඇතිවන ආශ්වාදය හරිම චුට්ටයි. ආණ්ඩුවට අහුවුණොත් බරපතල දඬුවම් විඳින්ට සිද්ධ වෙනවා. ඒ නිසා, බුද්ධිමත් මනුෂ්‍යයා පරස්ත‍්‍රීන් සේවනය නොකළ යුතුයි.
(-එම- ෴)

22.06.
කුසෝ යථා දුග්ගහිතෝ – හත්ථමේවානුකන්තති
සාමඤ්ඤං දුප්පරාමට්ඨං – නිරායායුපකඩ්ඪති
වැරදි විදිහට කුසතණ ගහ ඇල්ලුවොත්, ඒක අල්ලපු අතමයි කැපිල යන්නෙ. වැරදි විදිහට පුරුදු කරපු මහණකමෙන් නිරයටමයි ඇදගෙන යන්නෙ.
(ජේතවනාරාමයේදී එක්තරා අකීකරු භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

22.07.
යං කිඤ්චි සිථිලං කම්මං - සංකිලිට්ඨං ච යං වතං
සංකස්සරං බ‍්‍රහ්මචරියං – න තං හෝති මහප්ඵලං
ස්ථිර අදහසකින් තොරව, බුරුලට ගත් යම් සීලාදියක් තියෙනවා නම්, කිලුටු සහිත යම් ව‍්‍රතයක් තියෙනවා නම්, සැක කටයුතු මහණකමක් තියෙනවා නම්, ඒ කිසි දේකින් සාර්ථක ප‍්‍රතිඵල ලබන්නට බෑ.
(සේතව්‍ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

22.08.
කයිරා චේ කයිරාථේතං – දළ්හමේනං පරක්කමේ
සිථිලෝ හි පරිබ්බාජෝ – භිය්‍යෝ ආකිරතේ රජං
ඉදින් සීලාදී ගුණ ධර්ම දියුණු කරනවා නම්, දැඩි වීරියකින්, පරාක‍්‍රමයකින්මයි කරන්ට ඕනෙ. පැවිද්ද ලිහිල්ව ගත්තොත්, බොහෝ විට සිදුවෙන්නෙ කෙලෙස් වැගිරෙන එක.
(-එම- ෴)

22.09.
අකතං දුක්කතං සෙය්‍යෝ – පච්ඡා තපති දුක්කතං
කතං ච සුකතං සෙය්‍යෝ – යං කත්වා නා’නුතප්පති
පාපී අකුසල් නොකරන එකමයි හොඳ. නැත්නම්, පස්සේ දුක් විඳින්ට සිදුවෙනවා. යමක් කළාට පස්සේ පසුතැවිල්ලක් නැත්නම්, අන්න එබඳු කුසල් දහම් කිරීම තමයි හොඳ.
(ජේතවනාරාමයේදී ඉරිසියාකාර ස්ත‍්‍රියක් අරභයා වදාළ ගාථාවකි ෴)

22.10.
නගරං යථා පච්චන්තං – ගුත්තං සන්තරබාහිරං
ඒවං ගෝපේථ අත්තානං - ඛණෝ වෝ මා උපච්චගා
ඛණාතීතා හි සෝචන්ති – නිරයම්හි සමප්පිතා
ඇතුළතත්, පිටතත් හොඳින් ආරක්ෂා සංවිධානය කරපු, දුර පළාතක තියෙන නරගයක් වගේ තමන්ගේ ජීවිතයද වරදට වැටෙන්ට නොදී රැකගන්ට ඕනෙ. මේ උතුම් අවස්ථාව ඔබට නම් මගහැරෙන්ට එපා. මේ උතුම් අවස්ථාව ඉක්ම ගියොත්, නිරයේ වැටිලා ශෝක කරන්නට වෙනවා.
(ජේතවනාරාමයේදී බොහෝ ආගන්තුක භික්ෂු පිරිසක් අරභයා වදාළ ගාථාවකි ෴)

22.11.
අලජ්ජිතායේ ලජ්ජන්ති – ලජ්ජිතායේ න ලජ්ජරේ
මිච්ඡාදිට්ඨිසමාදානා – සත්තා ගච්ඡුන්ති දුග්ගතිං
විලි වසාගෙන සිටීම ගැන ලැජ්ජා විය යුතු නෑ. (මේ නිගණ්ඨයින් ඒකටත් ලැජ්ජයි.) නමුත් ලැජ්ජා විය යුත්තේ නිර්වස්ත‍්‍රව සිටීමටයි. (මේ නිගණ්ඨයින් ඒකට ලැජ්ජා නෑ.) මිත්‍යා දෘෂ්ටිය පුරුදු කරන සත්වයන් අපායට ගිහිල්ලයි නවතින්නෙ.
(ජේතවනාරාමයේදී නිගණ්ඨයින් අරභයා වදාළ ගාථාවකි ෴)

22.12.
අභයේ ච භයදස්සිනෝ – භයේ චාභයදස්සිනෝ
මිච්ඡාදිට්ඨිසමාදානා – සත්තා ගච්ඡන්ති දුග්ගතිං
බිය රහිත වූ නිවන් මග ගැන (මේ නිගණ්ඨයින්) බයවෙලා ඉන්නෙ, බිය විය යුතු දේවල් පුරුදු කිරීම ගැන (මේ නිගණ්ඨයින්ට) කිසි බයක් නෑ. මිත්‍යා දෘෂ්ටි පුරුදු කරන සත්වයා අපායේ තමයි උපදින්නේ.
(-එම- ෴)

22.13.
අවජ්ජේ වජ්ජ’මතිනෝ – වජ්ජේ චාවජ්ජදස්සිනෝ
මිච්ඡාදිට්ඨිසමාදානා – සත්තා ගච්ඡන්ති දුග්ගතිං
නිවැරදි වූ ආර්ය ධර්මය ගැන (මිත්‍යා දෘෂ්ටික උදවිය) හිතාගෙන ඉන්නෙ වැරදි විදිහටයි. නමුත්, වැරදි අධර්මය ඔවුන්ට පේන්නේ ඉතා නිවැරදි දෙයක් හැටියටයි. මිත්‍යා දෘෂ්ටිය පුරුදු කරන සත්වයන් අපායේ තමයි උපදින්නේ.
(ජේතවනාරාමයේදී අන්‍යාගමිකයන් පිරිසක් අරභයා වදාළ ගාථාවකි ෴)

22.14.
වජ්ජං ච වජ්ජතෝ ඤත්වා – අවජ්ජං ච අවජ්ජතෝ
සම්මාදිට්ඨිසමාදානා – සත්තා ගච්ඡන්ති සුග්ගතිං
වැරදි දේ වැරදි දේ විදිහට දැනගෙන, නිවැරදි වූ ධර්මය නිවැරදි දේ හැටියට දැනගෙන, සම්මා දිට්ඨිය පුරුදු කරන සත්වයන් සුගතියේ තමයි උපදින්නේ.
(-එම- ෴)
සාදු! සාදු!! සාදු!!!
නිරය ගැන වදාළ කොටස නිමා විය.
(නිරය වග්ගය නිමා විය.)


23. නාග වර්ගය
(හස්තිරාජයා ගැන වදාළ කොටස)
 
 
 
23.01.
අහං නාගෝ’ව සංගාමේ – චාපාතෝ පතිතං සරං
අතිවාක්‍යං තිතික්ඛිස්සං – දුස්සීලෝ හි බහුජ්ජනෝ යුධ බිමට බැසගත්ත හස්ති රාජයෙකුට, තමන්ට වදින ඊතල පහරවල් හොඳට ඉවසගෙන ඉන්ට පුළුවනි. මමත් අන්න ඒ වගේ කෙනෙක්. අනුන්ගෙන් ලැබෙන කර්කශ වචන, මං ඉවසනවා. මේ ලෝකෙ බොහෝ දෙනෙක් දුස්සීලයි.
(කුරු රටේදී මාගන්දිය බැමිණිය අරභයා වදාළ ගාථාවකි ෴)

23.02.
දන්තං නයන්ති සමිතිං – දන්තං රාජා’භිරූහති
දන්තෝ සෙට්ඨෝ මනුස්සේසු – යෝ’තිවාක්‍යං තිතික්ඛති
බොහෝ දෙනෙක් රැස්වෙන තැනට, හොඳට දමනය වුණ සතෙක්ව ගෙනියන්ට පුළුවනි. රජ්ජුරුවො නගින්නෙත්, දමනය වුණ සතෙකුගේ පිටේමයි. යමෙක් අනුන්ගේ කර්කශ වචන ඉවසයි නම්, ඔහු මිනිසුන් අතර දමනයට පත් වූ ශ්‍රේෂ්ඨ කෙනෙක්. 
(-එම- ෴)

23.03.
වරමස්සතරා දන්තා – ආජානීයා ච සින්ධවා
කුඤ්ජරා ච මහානාගා – අත්තදන්තෝ තතෝ වරං
අශ්වතරයොත්, සෛන්ධව අශ්වයොත්, ඇත්තු, මහා හස්තිරාජයො, දමනය වුණාම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ. නමුත්, තමන්ව දමනය කරගැනීම ඒ හැමදේකටම වඩා ශ්‍රේෂ්ඨයි.
(-එම- ෴)

01.04.
න හි ඒතේහි යානේහි – ගච්ඡෙය්‍ය අගතං දිසං
යථාත්තනා සුදන්තේන – දන්තෝ දන්තේන ගච්ඡුති
තමන් නොගිය දිශාව වූ එ් අමා නිවන වෙත ඔය වාහන වලින් යන්ට බෑ. තමාව මනාකොට දමනය කරගෙන දමනය වූ සිතින්ම තමයි යන්ට තියෙන්නෙ.
(සැවැත් නුවර හස්ති ශිල්ප දත් තෙරනමක් අරභයා වදාළ ගාථාවකි ෴)

01.05.
ධනපාලකෝ නාම කුඤ්ජරෝ – කටුකප්පභේදනෝ දුන්නිවාරයෝ
බද්ධෝ කබලං න භුඤ්ජති – සුමරති නාගවනස්ස කුඤ්ජරෝ
ධනපාල කියල ඇතෙක් හිටියා. මේ මද වැගිරෙන හස්තිරාජයාව කිසිම දේකින් පාලනය කරගන්ට බෑ. තමන්ගේ මව් ඇතින්න සිටින වනාන්තරයමයි සිහි කර කර ඉන්නෙ. රාජ භෝජන කිසිවක් අනුභව කරන්නෙ නෑ. මව් ගුණම සිහිකරමින් මවට උපස්ථාන කිරීමට කල්පනා කර කර හිටියා.
(සැවැත් නුවර එක්තරා මහළු බමුණකුගේ දරුවන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.06.
මිද්ධී යදා හෝති මහග්ඝසෝ ච – නිද්දායිතා සම්පරිවත්තසායී
මහාවරාහෝ’ව නිවාපපුට්ඨෝ – පුනප්පුනං ගබ්භමුපේති මන්දෝ
යම් කෙනෙක් හොඳට කාලා බීලා, නින්දටම ඇලී ඉන්නවා නම්, ඒ මේ අත පෙරලි පෙරලී නිදනවා නම්, ඔහු ඌරුබත් කාලා තරවෙච්ච මහ ඌරෙක් වගේ. ඒ අඥාන තැනැත්තා ආයෙ ආයෙමත් ගර්භාෂයකට එනවා.
(ජේතවනාරාමයේදී කොසොල් රජු අරභයා වදාළ ගාථාවකි ෴)

01.07.
ඉදං පුරේ චිත්තමචාරි චාරිකං – යේනිච්ඡකං යත්ථකාමං යථාසුඛං
තදජ්ජහං නිග්ගහෙස්සාමි යෝනිසෝ – හත්ථිප්පභින්නං විය අංකුසග්ගහෝ
ඉස්සර මේ හිත හිතු මනාපෙට අරමුණුවලට කැරකි, කැරකි ගියා. කැමති පරිද්දෙන් සැප සේ ඇවිද ඇවිද ගියා. නමුත් අද මං යෝනිසෝ මනසිකාරය නැමැති හෙණ්ඩුව අතට අරගෙන, මද කිපුණු හස්තිරාජයෙක්ව දමනය කරනව වගේ, මේ සිත පවින් වළක්වනවා.
(ජේතවනාරාමයේදී සානු සාමණේරයන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.08.
අප්පමාදරතා හෝථ – සචිත්තමනුරක්ඛථ
දුග්ගා උද්ධරථත්තානං – පංකේ සන්නෝ’ව කුඤ්ජරෝ
අප‍්‍රමාදයටමයි ඇලෙන්ට ඕනෙ. තමන්ගේ හිතමයි හොඳට රැුකගන්ට ඕනෙ. මඩ ගොඬේ එරුණ ඇතෙක් මහත් වීරියකින්, මහත් උත්සාහයකින් ගොඩ එනව වගේ. මේ කෙලෙස් මඩ ගොහොරුවෙන් ගොඩට එන්ට ඕන.
(සැවැත් නුවරදී භද්ධේරක හස්තිරාජයා අරභයා වදාළ ගාථාවකි ෴)

01.09.
සචේ ලභේථ නිපකං සහායං – සද්ධිං චරං සාධු විහාරි ධීරං
අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි – චරෙය්‍ය තේනත්තමනෝ සතීමා
ඉදින්, තැනට සුදුසු නුවණ ඇති ප‍්‍රඥාවන්ත, යහපත් හැසිරීම් ඇති මිත‍්‍රයෙක්ව ඇසුරට ලැබෙනවා නම්, හැම කරදරයක්ම මැඩගෙන, සිහි නුවණින් යුක්තව ඔහු සමඟ සතුටින් කල් ගෙවන්ට ඕනෙ.
(කොසඹෑ නුවර දී පන්සියයක් තෙරවරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.10.
නෝ චේ ලභේථ නිපකං සහායං – සද්ධිං චරං සාධුවිහාරි ධීරං
රාජා’ව රට්ඨං විජිතං පහාය – ඒකෝ චරේ මාතංගරඤ්ඤේ’ව නාගෝ
යම් හෙයකින් තැනට සුදුසු ප‍්‍රඥා ඇති, යහපත් හැසිරීම් ඇති තමා සමඟ වාසය කරන්ට සුදුසු බුද්ධිමත් මිත‍්‍රයෙක්ව මුණගැහෙන්නෙ නැත්නම්, ජයගත්තු රට අත්හැරලා යන රජෙක් වගේ, රැලෙන් වෙන් වෙලා, වනයේ තනියම ජීවත්වෙන මාතංග හස්තිරාජයා වගේ තනියමයි ඉන්ට ඕනෙ.
(-එම- ෴)

01.11.
ඒකස්ස චරිතං සෙය්‍යෝ – නත්ථි බාලේ සහායතා
ඒකෝ චරේ න ච පාපානි කයිරා – අප්පොස්සුක්කෝ මාතංගරඤ්ඤේ’ව නාගෝ
තනියම ඉන්න එකමයි ශ්‍රේෂ්ඨ. පින් පව් විශ්වාසයක් නැති අඥානයින් සමඟ ආශ‍්‍රයක් ඕනෙ නෑ. තනියම ඉන්න කොට පව් කෙරෙන්නෙ නෑ. රැුලෙන් වෙන්වෙච්ච මාතංග හස්තියා රැලත් සමඟ ඉන්ට උත්සාහයක් නැතුව, වනාන්තරේ තනියම ඉන්නව වගේ තනියමයි ඉන්ට ඕනෙ.
(-එම- ෴)

01.12.
අත්ථම්හි ජාතම්හි සුඛා සහායා – තුට්ඨි සුඛා යා ඉතරීතරේන
පුඤ්ඤං සුඛං ජීවිතසංඛයම්හි – සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහාණං
උපකාරයක් ඕන වෙලාවට ඉදිරිපත් වන යාළුවො තමයි සැපය. ලද දෙයින් සතුටුවීමත් සැපයක්. ජීවිතය අවසන් වන විට පින තමයි සැපයට තියෙන්නෙ. සියළු සංසාර දුක් නැතිකර දැමීමත් සැපයකි.
(හිමාල වනයේදී වසවත් මරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.13.
සුඛා මත්තෙය්‍යතා ලෝකේ – අථෝ පෙත්තය්‍යතා සුඛා
සුඛා සාමඤ්ඤතා ලෝකේ – අථෝ බ‍්‍රහ්මඤ්ඤතා සුඛා
මේ ලෝකයේ මවට සැලකීම සැපයකි. පියාට සැලකීම සැපයකි. ශ‍්‍රමණයන්ට සැලකීමත් සැපයකි. රහතුන්ට සැලකීමත් සැපයකි.
(-එම- ෴)

01.14.
සුඛං යාව ජරා සීලං – සුඛා සද්ධා පතිට්ඨිතා
සුඛෝ පඤ්ඤාය පටිලාභෝ - පාපානං අකරණං සුඛං
වයසට යනකල්ම සිල් රැකීම තමයි සැපය. තිසරණය තුළ ස්ථිරව පිහිටීම තමයි සැපය. ආර්ය සත්‍ය අවබෝධය ඇතිවීමමයි සැපය. පව් නොකිරීමමයි සැපය.
(-එම- ෴)
සාදු! සාදු!! සාදු!!!
හස්තිරාජයා ගැන වදාළ කොටස නිමා විය.
(නාග වග්ගය නිමා විය.)


24. තණ්හා වර්ගය
(තණ්හාව ගැන වදාළ කොටස)
 
 
 
24.01.
මනුජස්ස පමත්තචාරිනෝ – තණ්හා වඩ්ඪති මාලුවා විය
සෝ ප්ලවති හුරාහුරං – ඵලමිච්ඡං’ව වනස්මිං වානරෝ ප‍්‍රමාදයෙන් කල් ගෙවන පුද්ගලයාගේ තෘෂ්ණාව වැඩෙන්නේ ගහ වටකරගෙන එතෙන මාළුවා වැලක් වගේ. වනයේ ගස්වල ගෙඩි කන්ට කැමැති වඳුරෙක්, ගහෙන් ගහට පැන පැන යනව වගේ, ඒ තැනැත්තා භවයෙන් භවයට මාරුවෙනවා.
(ජේතවනාරාමයේදී කපිල මත්ස්‍යයා අරභයා වදාළ ගාථාවකි ෴)

24.02.
යං ඒසා සහතී ජම්මී – තණ්හා ලෝකේ විසත්තිකා
සෝකා තස්ස පවඩ්ඪන්ති – අභිවට්ඨං’ව බීරණං
ලෝකෙ අරමුණුවලට ඇලී යන ස්වභාවය නිසා, විසත්තිකා යැයි කියන ලද ලාමක තෘෂ්ණාව විසින්, කාව හරි යටකරලා දැම්මොත්, ඒ පුද්ගලයා තුළ ශෝකය වැඩෙන්නෙ මහ වැස්සට තෙමිල, පඳුරු දාන සැවැන්දරා වගේ.
(-එම- ෴)

24.03.
යෝ චේ තං සහතී ජම්මිං – තණ්හං ලෝකේ දුරච්චයං
සෝකා තම්හා පපතන්ති – උදබින්දු’ව පොක්ඛරා
මේ ලෝකයෙහි ඉක්මවා යන්ට දුෂ්කර වූ මේ ලාමක තෘෂ්ණාව යම් කෙනෙක් විසින් මර්දනය කළොත්, නෙළුම් කොළයකින් වතුර බිංදු ගිලී යනවා වගේ, ඔහු තුළින් ශෝකය පහවෙලා යනවා.
(-එම- ෴)

24.04.
තං වෝ වදාමි භද්දං වෝ – යාවන්තෙත්ථ සමාගතා
තණ්හාය මූලං ඛණථ – උසීරත්ථෝ’ව බීරණං
මා වෝ නලං’ව සෝතෝ’ව – මාරෝ භඤ්ජි පුනප්පුනං
දැන් මෙතනට රැස්වෙලා ඉන්න හැමදෙනාටම යහපතක් වේවා! මං ඔබට අවවාදයක් දෙන්නම්. සැවැන්දරා මුල් වලින් ප‍්‍රයෝජන ඇති උදවිය, සැවැන්දරා පඳුරු මුලින් උදුරලා දානවා වගේ, මේ තෘෂ්ණාවත් මුලින්ම උදුරලා දාන්න. ගං ඉවුරේ හැදිච්ච උණ පඳුරක් සැඩ වතුර පහරකින් ගැලවිලා ගහගෙන යනව වගේ, මාරයා විසින් ඔබව ආයෙ ආයෙමත් විනාශ කරන්ට එපා.
(-එම- ෴)

24.05.
යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ – ජින්නෝ’පි රුක්ඛෝ පුනරේව රූහති
ඒවම්පි තණ්හානුසයේ අනූහතේ – නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං
මුල හයියට තියෙන, හොඳට වැඩුණු ගහක්, කොච්චර වතාවක් කැපුවත්, ආයෙ ආයෙමත් දළු දාල වැඩෙනවා. ඒ වගේ, මේ සිත ඇතුලේ තියෙන තණ්හාව උදුරා නොදමනතාක් කල්, මේ සසර දුක ආය ආයෙමත්, හටගන්නවා.
(වේළුවනයේදී ඊරිපැටියෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

24.06.
යස්ස ඡත්තිංසති සෝතා – මනාපස්සවනා භුසා
වාහා වහන්ති දුද්දිට්ඨිං – සංකප්පා රාගනිස්සිතා
ප‍්‍රිය මනාප වූ අරමුණු ඔස්සේ මේ ආයතනයන් ගෙන්, තිස් හය ආකාරයකින් තණ්හා ගඟ ගලනවා. ඒ තණ්හාවට අහුවෙලා, සරාගී කල්පනාවටම බැඳිලා ඉන්න අඥාන පුද්ගලයා අපායට ගිහිල්ලයි නවතින්නේ.
(-එම- ෴)

24.07.
සවන්ති සබ්බධි සෝතා – ලතා උබ්භිජ්ජ තිට්ඨති
තඤ්ච දිස්වා ලතං ජාතං - මූලං පඤ්ඤාය ඡින්දථ
මේ ඇස්, කණ්, නාසා දී හැම තැනකින්ම තණ්හා ගඟ ගලා බසිනවා. ඊට පස්සේ මේ තණ්හාව ජීවිතය පුරා එතිලා තියෙන්නෙ වැලක් වගේ. තමන් තුළ හටගත්තු මේ තණ්හා වැල හඳුනාගෙන, ප‍්‍රඥාව නැමැති ආයුධයෙන්, මුලින්ම සිඳින්ට ඕනෙ.
(-එම- ෴)

24.08.
සරිතානි සිනේහිතානි ච – සෝමනස්සානි භවන්ති ජන්තුනෝ
තේ සාතසිතා සුඛේසිනෝ – තේ වේ ජාතිජරූපගා නරා
මේ සත්වයාට තෘෂ්ණාව නිසා, තමන් ගන්නා අරමුණු ඔස්සේ යම්කිසි සතුටක් ඇතිවෙනවා තමයි. ඔවුන් ඒ මිහිරට බැඳෙනවා. එ් සැපයම හොයන්ට පටන් ගන්නවා. එබඳු සත්වයන් එ්කාන්තයෙන්ම ඉපදෙන දිරන සංසාරය කරාම යනවා.
(-එම- ෴)

24.09.
තසිණාය පුරක්ඛතා පජා – පරිසප්පන්ති සසෝ’ව බාධිතෝ
සංයෝජනසංගසත්තා – දුක්ඛමුපෙන්ති පුනප්පුනං චිරාය
මේ සත්ව ප‍්‍රජාව තණ්හාව මුල්කරගෙන යන ගමනේදී බයේ ගැහි ගැහී ඉන්නෙ. තොණ්ඩුවකට අහුවෙච්ච හාවෙක් වගේ. කෙලෙස් බන්ධනයෙන් බැඳුණු සත්වයන්, අනන්ත කාලයක් තිස්සෙ ජරා මරණ දුකටමයි ආයෙ ආයෙමත් වැටෙන්නෙ.
(-එම- ෴)

24.10.
තසිණාය පුරක්ඛාතා පජා – පරිසප්පන්ති සසෝ’ව බාධිතෝ
තස්මා තසිණං විනෝදයේ – භික්ඛු ආකංඛී විරාගමත්තනෝ
මේ සත්ව ප‍්‍රජාව තණ්හාව මුල්කරගෙන යන ගමනේදී බයේ ගැහි ගැහී ඉන්නෙ, තොණ්ඩුවකට අහුවෙච්ච හාවෙක් වගේ. ඒ නිසා තෘෂ්ණා රහිත වූ නිවන කැමති භික්ෂුව ඒ තණ්හාවමයි දුරුකරන්ට ඕනෙ.
(-එම- ෴)

24.11.
යෝ නිබ්බනථෝ වනාධිමුත්තෝ – වනමුත්තෝ වනමේව ධාවති
තං පුග්ගලමේථ පස්සථ – මුත්තෝ බන්ධනමේව ධාවති
යමෙක් ගිහි ජීවිතය නැමැති කෙලෙස් වනයෙන් නිදහස් වෙලා, අරණ්‍ය වාසයට ඇලෙනවා. ගිහි බන්ධනයෙන් නිදහස් වෙලා ඉන්න ඔහු, ආයෙමත් කෙලෙස් වනයක් වූ ගිහිගෙදරටම දුවනවා. බන්ධනයෙන් මිදිලා, ආයෙමත් බන්ධන වෙතම දුවන මේ පුද්ගලයා දිහා බලන්න.
(වේළුවනයේදී සිවුරු හැරි භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

24.12.
න තං දළ්හං බන්ධනමාහු ධීරා – යදායසං දාරුජං බබ්බජඤ්ච
සාරත්තරත්තා මණිකුණ්ඩලේසු – පුත්තේසු දාරේසු ච යා අපේඛා
යම් කෙනෙක්ව යකඩ දම්වැල් වලින් බැඳලා තිබ්බත්, දඬු කඳේ ගහලා තිබ්බත්, බබුස් තණ වලින් කරපු ලණු වලින් බැඳලා තිබ්බත්, ප‍්‍රඥාවන්තයෝ බලවත් බන්ධනය කියලා කියන්නෙ ඒකට නොවෙයි. කණ කර ආභරණවලට, අඹු දරුවන්ට බැඳී ගිය සිතින් යුක්තව, ඔවුන් ගැන යම් අපේක්ෂාවක් ඇද්ද,
(සැවැත් නුවරදී සිරකරුවන් පිරිසක් අරභයා වදාළ ගාථාවකි ෴)

24.13.
ඒතං දළ්හං බන්ධනමාහු ධීරා – ඕහාරිනං සිථිලං දුප්පමුඤ්චං
ඒතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති – අනපෙක්ඛිනෝ කාමසුඛං පහාය
ප‍්‍රඥාවන්තයෝ අන්න ඒකට තමයි බලවත් බන්ධනය කියලා කියන්නෙ. ඒක හරි ලිහිල්ව පෙනුනට අපායට ඇදගෙන යන්න පුළුවන් වූත් මිදෙන්ට දුෂ්කර වූත් බන්ධනය ඒකමයි. කාම සැපය සිතින් අත්හැරලා, ඒ කෙරෙහි අපේක්ෂා රහිත වන නුවණැති උදවිය නිවන අපේක්ෂාවෙන් පැවිදි වෙනවා.
(-එම- ෴)

24.14.
යේ රාගරත්තානුපතන්ති සෝතං – සයං කතං මක්කටකෝ’ව ජාලං
ඒතම්පි ඡෙත්වාන වජන්ති ධීරා – අනපෙක්ඛිනෝ සබ්බදුක්ඛං පහාය
මේ රාගයට ඇලිලා, තෘෂ්ණා සැඩපහරට වැටිලා ඉන්නෙ තමා විසින්ම දැල වියාගෙන, ඒක මැද්දටම වෙලා ඉන්න මකුළුවෙක් වගේ. නමුත්, නුවණැති උදවිය, සියළු දුක් නැතිකර දැමීමට කාමයන් කෙරෙහි අපේක්ෂා රහිත වෙලා, කෙලෙස් බන්ධන සිඳගෙන නිවන කරාම යනවා.
(වේළුවනයේ දී ඛේමා බිසව අරභයා වදාළ ගාථාවකි ෴)

24.15.
මුඤ්ච පුරේ මුඤ්ච පච්ඡතෝ – මජ්ඣේ මුඤ්ච භවස්ස පාරගූ
සබ්බත්ථ විමුත්තමානසෝ – න පුන ජාතිජරං උපේහිසි
අතීතය ගැන පසුතැවෙන එක අත්හරින්න. අනාගතයේ මවන එකත් අත්හරින්න. වර්තමනයට බැඳෙන එක අත්හරින්න. මේ භවයෙන් එතෙර වෙන්න. හැම දේකින්ම මිදුණු සිතක් ඇති කෙනෙක් වෙන්න. ආයෙ ආයෙමත් මේ ඉපදෙන දිරන ලෝකයට නොඑන කෙනෙක් වෙන්න.
(රජගහ නුවර උග්ගසේන සිටුපුත‍්‍රයා අරභයා වදාළ ගාථාවකි ෴)

24.16.
විතක්කපමථිතස්ස ජන්තුනෝ – තිබ්බරාගස්ස සුභානුපස්සිනෝ
භිය්‍යෝ තණ්හා පවඞ්ඪති – ඒස ඛෝ දළ්හං කරෝති බන්ධනං
සමහර උදවිය ඉන්නවා, කාම විතර්කමයි හිත හිත ඉන්නේ. තියුණු රාග සිතකින් යුක්තව සුභ විදිහටමයි බල බලා ඉන්නෙ. එතකොට ඔහු තුළ තණ්හාවමයි වැඩෙන්නෙ. අන්තිමේ දී ඒ තණ්හා බන්ධනය හොඳටම දැඩි වෙලා යනවා.
(ජේතවනාරාමයේදී තරුණ භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

24.17.
විතක්කූපසමේ ච යෝ රතෝ – අසුභං භාවයති සදා සතෝ
ඒස ඛෝ ව්‍යන්තිකාහිති – ඒස ඡෙච්ඡති මාරබන්ධනං
රාග සිතුවිලි සංසිඳවාගෙන, අසුභ භාවනාවේ සිත අලවාගෙන හැමවිටම සිහි ඇතිව අසුභ භාවනාව වඩනවා නම්, අන්න ඒ නැතැත්තා මේ තණ්හාව ප‍්‍රහාණය කරනවා. මාර බන්ධනය සිඳලා දානවා.
(-එම- ෴)

24.18.
නිට්ඨං ගතෝ අසන්තාසී – වීතතණ්හෝ අනංගණෝ
අච්ඡින්දි භවසල්ලානි – අනිතිමෝ’යං සමුස්සයෝ
යම් භික්ෂුවක් නිවන් මගේ කෙළවරට ගියා නම්, කිසි තැතිගැනීමක් නැත්නම්, තණ්හාව දුරු කළා නම්, නිකෙලෙස් නම්, භවය නැමැති උල් උදුරලා දැම්මා නම්, ඔහුට තිබෙන්නෙ මේ අන්තිම ශරීරය විතරයි.
(ජේතවනාරාමයේදී වසවත් මරු අරභයා වදාළ ගාථාවකි ෴)

24.19.
වීතතණ්හෝ අනාදානෝ – නිරුත්තිපදකෝවිදෝ
අක්ඛරානං සන්නිපාතං - ජඤ්ඤා පුබ්බපරානි ච
ස වේ අන්තිමසාරීරෝ – මහාපඤ්ඤෝ මහාපුරිසෝ’ති වුච්චති
යම් භික්ෂුවක් තෘෂ්ණාව දුරුකරලා නම්, උපාදාන රහිත නම්, නිවන් මග පවසන්ට දක්ෂ නම්, පෙර පසු පද ගලපාගෙන, අකුරුත් ගලපාගෙන, මනාකොට ධර්මයත් පවසයි නම්, ඇත්තෙන්ම ඔහුට තියෙන්නේ අන්තිම ශරීරයක්. මහා ප‍්‍රඥාවන්තයා, මහා පුරුෂයා කියලා ඔහුටයි කිවයුත්තේ.
(-එම- ෴)

24.20.
සබ්බාභිභූ සබ්බවිදූ’හමස්මි – සබ්බේසු ධම්මේසු අනූපලිත්තෝ
සබ්බඤ්ජහෝ තණ්හක්ඛයේ විමුත්තෝ – සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං
මං හැම අකුසලයක්ම මර්ධනය කළා. හැම දෙයක්ම අවබෝධ කළා. මං කිසි දේකට ඇලෙන්නෙ නෑ. හැමදේම අතහැරියා. තෘෂ්ණාව ක්‍ෂය වුණා. සසර දුකින් නිදහස් වුණා. ස්වයංභූ ඥානයෙන් යථාර්ථය අවබෝධ කළ මං කාව නම් ගුරුකොට ගන්ටද?
(ගයාවත් බරණැසත් අතර උපක ආජීවකයා අරභයා වදාළ ගාථාවකි ෴)

24.21.
සබ්බදානං ධම්මදානං ජිනාති – සබ්බං රසං ධම්මරසෝ ජිනාති
සබ්බං රතිං ධම්මරතී ජිනාති – තණ්හක්ඛයෝ සබ්බදුක්ඛං ජිනාති
හැම දන් පරදවා, ධර්ම දානයයි ජයගන්නෙ. හැම රස පරදවා ජය ගන්නේ දහම් රසයයි. හැම ඇල්ම පරදවා දහමට ඇළුම් කිරීමමයි ජයගන්නෙ. සියළු දුක් පරදවා තණ්හාව නැති කිරීමමයි ජයගන්නේ.
(ජේතවනාරාමයේදී සක්දෙවිඳු අරභයා වදාළ ගාථාවකි ෴)

24.22.
හනන්ති භෝගා දුම්මේධං – නෝ වේ පාරගවේසිනෝ
භෝගතණ්හාය දුම්මේධෝ – හන්ති අඤ්ඤේ’ව අත්තනා
සැප සම්පත් විසින් අඥාන පුද්ගලයාව විනාශ කරල දානවා. නමුත්, සසරින් එතෙර වීමට නිවන සොයාගෙන යන කෙනා ව ඒ විදිහට වනසන්ට බෑ. අඥාන පුද්ගලයා, සැප සම්පත්වලට තියෙන ආශාව නිසා වැනසෙන්නෙ අනුන් ලවා තමන්වම වනසා ගන්නවා වගේ.
(ජේතවනාරාමයේදී අපුත්තක සිටාණන් අරභයා වදාළ ගාථාවකි ෴)

24.23.
තිණදෝසානි ඛෙත්තානි – රාගදෝසා අයං පජා
තස්මා හි වීතරාගේසු – දින්නං හෝති මහප්ඵලං
කුඹුරේ ගොයමට රෝග හටගන්නවා වගේ, මේ සත්ව ප‍්‍රජාවද රාගය නැමැති රෝගයෙන් යුක්තයි. ඒ නිසා වීතරාගී උතුමන්ට දෙන දානයෙන් තමයි මහත් ඵල ලැබෙන්නේ.
(තව්තිසා දෙව්ලොවදී අංකුර දිව්‍ය පුත‍්‍රයා අරභයා වදාළ ගාථාවකි ෴)

24.24.
තිණදෝසානි ඛෙත්තානි – දෝසදෝසා අයං පජා
තස්මා හි වීතදෝසේසු – දින්නං හෝති මහප්ඵලං
කුඹුරේ ගොයමට රෝග හටගන්නවා වගේ, මේ සත්ව ප‍්‍රජාවද ද්වේෂය නැමැති රෝගයෙන් යුක්තයි. ඒ නිසා ද්වේෂ රහිත උතුමන්ට දෙන දානයෙන් තමයි මහත් ඵල ලැබෙන්නේ.
(-එම- ෴)

01.25.
තිණදෝසානි ඛෙත්තානි – මෝහදෝසා අයං පජා
තස්මා හි වීතමෝහේසු – දින්නං හෝති මහප්ඵලං
කුඹුරේ ගොයමට රෝග හටගන්නව වගේ, මේ සත්ව ප‍්‍රජාවද මෝහය නැමැති රෝගයෙන් යුක්තයි. එ් නිසා මෝහ රහිත උතුමන්ට දෙන දානයෙන් තමයි මහත් ඵල ලැබෙන්නෙ.
(-එම- ෴)

01.26.
තිණදෝසානි ඛෙත්තානි – ඉච්ඡාදෝසා අයං පජා
තස්මා හි විගතිච්ඡේසු – දින්නං හෝති මහප්ඵලං
කුඹුරේ ගොයමට රෝග හටගන්නවා වගේ, මේ සත්ව ප‍්‍රජාවද ලාමක අශාවන් නැමැති රෝගයෙන් යුක්තයි. එ් නිසා ලාමක ආශා රහිත උතුමන්ට දෙන දානයෙන් තමයි මහත් ඵල ලැබෙන්නේ.
(-එම- ෴)

සාදු! සාදු!! සාදු!!!
තණ්හාව ගැන වදාළ කොටස නිමා විය.
(තණ්හා වග්ගය නිමා විය.)


25. භික්ඛු වර්ගය
(භික්ෂුව ගැන වදාළ කොටස)
 
 
25.01.
චක්ඛුනා සංවරෝ සාධු – සාධු සෝතේන සංවරෝ
ඝාණේන සංවරෝ සාධු – සාධු ජිව්හාය සංවරෝ ඇස සංවර කරගැනීම කොයිතරම් යහපත්ද, කණ සංවර කරගැනීම කොයිතරම් යහපත්ද. නාසය සංවර කරගැනීම කොයිතරම් යහපත්ද. දිව සංවර කරගැනීම කොයිතරම් යහපත්ද.
(ජේතවනාරාමයේදී භික්ෂූන් පස් නමක් අරභයා වදාළ ගාථාවකි ෴)

25.02.
කායේන සංවරෝ සාධු – සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු – සාධු සබ්බත්ථ සංවරෝ
සබ්බත්ථ සංවුතෝ භික්ඛු – සබ්බදුක්ඛා පමුච්චති
කය සංවර කරගැනීම කොයිතරම් යහපත්ද, වචනය සංවර කරගැනීම කොයිතරම් යහපත්ද. සිත සංවර කරගැනීම කොයි තරම් යහපත්ද. ඔය හැමදේම සංවර කර ගැනීම කොයිතරම් යහපත් ද. හැම දෙයින්ම සංවර වූ භික්ෂුව, හැම දුකින්ම නිදහස් වෙනවා.
(-එම- ෴)

25.03.
හත්ථසඤ්ඤතෝ පාදසඤ්ඤතෝ – වාචාය සඤ්ඤතෝ සඤ්ඤතුත්තමෝ
අජ්ඣත්තරතෝ සමාහිතෝ – ඒකෝ සන්තුසිතෝ තමාහු භික්ඛුං
දෑතත් සංවර නම්, දෙපයත් සංවර නම්, වචනයත් සංවර නම්, උතුම් සංවරකමින් යුක්ත නම්, තම චිත්ත සමාධිය තුළ ඇලී සිටිනවා නම්, හුදෙකලාවේම සතුටින් ඉන්නවා නම්, ඔහුට තමයි ‘භික්ෂුව’ කියන්නෙ.
(ජේතවනාරාමයේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

25.04.
යෝ මුඛසඤ්ඤතෝ භික්ඛු – මන්තභාණී අනුද්ධතෝ
අත්ථං ධම්මං ච දීපේති – මධුරං තස්ස භාසිතං
යම් භික්ෂුවක් කට සංවර කරගෙන, අවබෝධය ඇතිවෙන දේ කතා කරනවා නම්, නිහතමානී නම්, ඔහුට ධර්ම අර්ථ බබුළුවන්නට පුළුවන්. ඔහුගේ කතාව මිහිරි එකක්.
(ජේතවනාරාමයේදී කෝකාලික අරභයා වදාළ ගාථාවකි ෴)

25.05.
ධම්මාරාමෝ ධම්මරතෝ – ධම්මං අනුවිචින්තයං
ධම්මං අනුස්සරං භික්ඛු – සද්ධම්මා න පරිහායති
ධර්මය තුළ ජීවත්වන, ධර්මයටම ඇළුණු, ධර්මයම හිත හිතා ඉන්න, ධර්මය සිහිකරන භික්ෂුව කවදාවත් සද්ධර්මයෙන් පිරිහෙන්නෙ නෑ.
(සැවැත් නුවරදී ධම්මාරාම භික්ෂුව අරභයා වදාළ ගාථාවකි ෴)

25.06.
සලාභං නාතිමඤ්ඤෙය්‍ය – නාඤ්ඤේසං පිහයං චරේ
අඤ්ඤේසං පිහයං භික්ඛු – සමාධිං නාධිගච්ඡති
තමන්ට ලැබිච්ච දේ ගැන පහත් කරලා හිතන්ට හොඳ නෑ. අනුන්ට ලැබෙන දේ ගැන ආසාවෙන් හැසිරෙන්ට හොඳ නෑ. අනුන්ට ලැබෙන දේ ගැන ආසා කරන භික්ෂුවට, සමාධිය ඇතිකරගන්ට බැරුව යනවා.
(වේළුවනයේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

25.07.
අප්පලාභෝ’පි චේ භික්ඛු – සලාභං නාතිමඤ්ඤති
තං වේ දේවා පසංසන්ති – සුද්ධාජීවිං අතන්දිතං
ඉදින් භික්ෂුවට ලැබෙන්නේ ස්වල්ප දෙයක් වෙන්ට පුළුවනි. නමුත්, තමන්ගේ ලැබීම ගැන හෙළා නොදැකිය යුතුයි. පිරිසිදු ජීවිකා තියෙන, කම්මැලි නැති ඒ භික්ෂුවට ඒකාන්තයෙන්ම දෙවියොත් ප‍්‍රශංසා කරනවා.
(-එම- ෴)

25.08.
සබ්බසෝ නාමරූපස්මිං – යස්ස නත්ථි මමායිතං
අසතා ච න සෝචති – ස වේ භික්ඛූ’ති වුච්චති
මේ නාම රූපය ගැන මුළුමනින්ම මමත්වයක් කෙනෙකුට නැත්නම්, ඒවා නැතිවුණා කියලා, ඔහු ශෝක වෙන්නෙ නෑ. ඔහුට තමයි භික්ෂුව කියන්නේ.
(සැවැත් නුවරදී පංචග්ගදායක බ‍්‍රාහ්මණයා අරභයා වදාළ ගාථාවකි ෴)

25.09.
මෙත්තවිහාරී යෝ භික්ඛු – පසන්නෝ බුද්ධසාසනේ
අධිගච්ඡේ පදං සන්තං – සංඛාරූපසමං සුඛං
යම් භික්ෂුවක් මෛත‍්‍රී භාවනාවෙන් යුක්තව වාසය කරනවා නම්, බුද්ධ ශාසනය පිළිබඳ අචල ප‍්‍රසාදයකින් යුක්ත නම්, සියළු සංස්කාරයන්ගේ සංසිඳීමේ සැපය වන, ශාන්ත වූ ඒ අමා නිවන ලබන්නට ඒ භික්ෂුවට පුළුවන්.
(සැවැත් නුවරදී බොහෝ භික්‍ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

25.10.
සිඤ්ච භික්ඛු ඉමං නාවං – සිත්තා තේ ලහුමෙස්සති
ඡෙත්වා රාගං ච දෝසං ච – තතෝ නිබ්බාණමේහිසි
පින්වත් භික්ෂුව, මේ ජීවිතය නැමැති නැවේ පිරිලා තියෙන ලාමක විතර්ක නැමැති වතුර ඉහලා දාන්න. වතුර හිස්කරපු නැව හරි සැහැල්ලුයි. රාග, ද්වේෂ නැතිකරගෙන ඔබට ඉක්මනට නිවන කරා යන්ට පුළුවනි.
(-එම- ෴)

25.11.
පඤ්ච ඡින්දේ පඤ්ච ජහේ – පඤ්ච චුත්තරි භාවයේ
පඤ්චසංගාතිගෝ භික්ඛු – ඕඝතිණ්ණෝ’ති වුච්චති
ඕරම්භාගිය සංයෝජන පහ සිඳින්ට ඕන. උද්ධම්භාගිය සංයෝජන පහත් දුරුකරන්ට ඕන. ශ‍්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම පහත් දියුණු කරන්ට ඕන. රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි යන සංග පහත් ඉක්මවන්ට ඕනෙ. අන්න ඒ භික්ෂුවටයි කියන්නෙ මේ සැඩපහරින් එතෙර වුණ කෙනා කියලා.
(-එම- ෴)

25.12.
ඣාය භික්ඛු මා ච පමාදෝ – මා තේ කාමගුණේ භමස්සු චිත්තං
මා ලෝහගුළං ගිලී පමත්තෝ – මා කන්දි දුක්ඛමිදන්ති ඩය්හමානෝ
පින්වත් භික්ෂුව, භාවනා කරන්න. ප‍්‍රමාද වෙන්ට එපා. ඔබේ ඔය හිතට පංචකාම ගුණ ඔස්සේ කැරකෙන්ට දෙන්න එපා. අන්තිමේදී ප‍්‍රමාද වෙලා නිරයේ උපදිලා යකඩ ගුලි ගිලින කෙනෙක් වෙන්ට එපා. එතකොට ඒ ගින්නට දැවි දැවී ”අයියෝ! මේක දුකයි” කිය කියා හඬන කෙනෙක් වෙන්ට එපා.
(-එම- ෴)

25.13.
නත්ථි ඣානං අපඤ්ඤස්ස – පඤ්ඤා නත්ථි අඣායතෝ
යම්හි ඣානං ච පඤ්ඤා ච – ස වේ නිබ්බාණසන්තිකේ
ප‍්‍රඥාව නැති කෙනෙකුට ධ්‍යානයකුත් නෑ. ධ්‍යාන නොවඩන කෙනෙකුට ප‍්‍රඥාවකුත් නෑ. යමෙක් තුළ ධ්‍යානයත් ප‍්‍රඥාවත් තියෙනවා නම්, ඇත්ත වශයෙන්ම ඔහු ඉන්නෙ ඒ අමා නිවන ළඟයි.
(-එම- ෴)

25.14.
සුඤ්ඤාගාරං පවිට්ඨස්ස – සන්තචිත්තස්ස භික්ඛුනෝ
අමානුසී රතී හෝති – සම්මා ධම්මං විපස්සතෝ
පාළු කුටියකට ගිය ශාන්ත සිත් ඇති භික්ෂුව, මේ පංච උපාදානස්කන්ධයන් මනාකොට විදර්ශනා වඩද්දී, ඒ ධර්මය කෙරෙහි ඒ භික්ෂුව තුළ ඇති වෙන ඇල්ම මිනිස් හැඟීම් ඉක්මවා යනවා.
(-එම- ෴)

25.15.
යතෝ යතෝ සම්මසති – ඛන්ධානං උදයබ්බයං
ලභතී පීතිපාමොජ්ජං – අමතං තං විජානතං
මේ පංච උපාදනස්ඛන්ධයේ ඇතිවීමත්, නැති වීමත්, විදර්ශනා වශයෙන් වඩන්නේ යම් යම් ආකාරයකින්ද, ඒ හැමවිටම මහත් ප‍්‍රීතියක් ප‍්‍රමුදිත බවක් ඇතිවෙනවා. යථාර්ථය අවබෝධ කළ කෙනෙකුට ඒක අමෘතයක්.
(-එම- ෴)

25.16.
තත‍්‍රායමාදි භවති – ඉධ පඤ්ඤස්ස භික්ඛුනෝ
ඉන්ද්‍රියගුත්ති සන්තුට්ඨී – පාතිමොක්ඛේ ච සංවරෝ
මේ ශාසනේ ප‍්‍රඥාවන්ත භික්ෂුවට පංච උපාදානස්ඛන්ධයන් අනිත්‍ය වශයෙන් බැලීමේදී මේ කරුණු තුන මුල් වෙනවා. ඉන්ද්‍රිය සංවරයත්, ප‍්‍රාතිමෝක්ෂ සංවර සීලයත් ලද දෙයින් සතුටුවීමත්, යන මේ තුනයි.
(-එම- ෴)

25.17.
මිත්තේ භජස්සු කල්‍යාණේ – සුද්ධාජීවේ අතන්දිතේ
පටිසන්ථාරවුත්ත්‍යස්ස – ආචාරකුසලෝ සියා
තතෝ පාමොජ්ජබහුලෝ – දුක්ඛස්සන්තං කරිස්සසි
සදහම් පිළිසඳරෙහි යුක්ත වෙන්න. ඇවතුම් පැවැතුම්වල දක්ෂ කෙනෙක් වෙන්න. ඒ තුළින් ප‍්‍රමුදිත භාවය හොඳින් ඇතිකරගෙන මේ දුක අවසන් කරන කෙනෙක් වෙන්න. ඒ වගේම පිරිසිදු ජීවිකාව ඇති, කම්මැලි නැති කල්‍යාණ මිත‍්‍රයන්වත් ඇසුරු කරන්ට ඕනෙ.
(-එම- ෴)

25.18.
වස්සිකා විය පුප්ඵානි – මද්දවානි පමුඤ්චති
ඒවං රාගං ච දෝසං ච - විප්පමුඤ්චේථ භික්ඛවෝ
මැලවුණු සමන් මල් නටුවෙන් ගිලිහී වැටෙනවා වගේ, පින්වත් මහණෙනි, ඒ විදිහටම මේ රාගයත්, ද්වේෂයත් ඔය සිතින් මුදාහරින්න.
(ජේතවනාරාමයේදී පන්සියයක් තෙරවරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

25.19.
සන්තකායෝ සන්තවාචෝ – සන්තවා සුසමාහිතෝ
වන්තලෝකාමිසෝ භික්ඛු – උපසන්තෝ’ති වුච්චති
කයත් ශාන්ත නම්, වචනයත් ශාන්ත නම්, සමාහිත නම්, පංචකාම ආශාව දුරුවෙලා නම්, ඒ භික්ෂුවටයි කියන්නෙ උපශාන්ත කෙනා කියල.
(ජේතවනාරාමයේදී සන්තකාය තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

25.20.
අත්තනා චෝදයත්තානං – පටිමාසේ’ත්තමත්තනා
සෝ අත්තගුත්තෝ සතිමා – සුඛං භික්ඛු විහාහිසි
පින්වත් භික්ෂුව, තමාමයි තමන්ට චෝදනා කළ යුත්තෙ. තමාමයි තමන් ගැන විමසා බැලිය යුත්තෙ. තමා විසින් තමාව රැකගෙන හොඳින් සිහිය පිහිටුවාගෙන සැප සේ ඉන්න.
(ජේතවනාරාමයේදී නංගලකුල තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

25.21.
අත්තා හි අත්තනෝ නාථෝ – අත්තා හි අත්තනෝ ගති
තස්මා සඤ්ඤමයත්තානං – අස්සං භද්‍රං’ව වාණිජෝ
තමාමයි තමාට පිහිට වෙන්නෙ. තමාමයි තමන්ගේ ගමනට මුල් වෙන්නෙ. මේ නිසා, දක්ෂ වෙළෙන්දා සුන්දර අශ්වයාව රැකගන්නව වගේ තමන්ව රැකගන්ට ඕනෙ.
(-එම- ෴)

25.22.
පාමොජ්ජබහුලෝ භික්ඛු – පසන්නෝ බුද්ධසාසනේ
අධිගච්ඡේ පදං සන්තං – සංඛාරූපසමං සුඛං
ධර්මයේ හැසිරීම නිසා, මහත් සතුටින් කල් ගෙවලා, සම්බුදු සසුන ගැන අචල ප‍්‍රසාදයකින් ඉන්න භික්ෂුව, ඒ නිසාම සංස්කාරයන් සංසිඳීමේ සැපය වූ ශාන්ත නිවනට පත්වෙනවා.
(ජේතවනාරාමයේදී වක්කලී තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

25.23.
යෝ හවේ දහරෝ භික්ඛු – යුඤ්ජති බුද්ධසාසනේ
සෝ ඉමං ලෝකං පභාසේති – අබ්භා මුත්තෝ’ව චන්දිමා
ඒ භික්ෂුව ළදරු කෙනෙක් වෙන්ට පුළුවනි. නමුත් බුද්ධ ශාසනයේ යෙදෙනව නම්, වළාකුළු වලින් මිදුන පුන් සඳක් වගේ, ඒ භික්ෂුව තමයි මේ ලෝකය එළිය කරන්නේ.
(පූර්වාරාමයේදී සුමන සාමණේරයන් අරභයා වදාළ ගාථාවකි ෴)

සාදු! සාදු!! සාදු!!!
භික්ෂුව ගැන වදාළ කොටස නිමා විය.
(භික්ඛු වග්ගය නිමා විය.)


26. බ්‍රාහ්මණ වර්ගය
(බ්‍රාහ්මණයා ගැන වදාළ කොටස)
 
 
 
26.01.
ඡින්ද සෝතං පරක්කම්ම – කාමේ පනුද බ‍්‍රාහ්මණ
සංඛාරානං ඛයං ඤත්වා - අකතඤ්ඤූ’සි බ‍්‍රාහ්මණදං පින්වත් බ‍්‍රාහ්මණය, හිතට වීරිය අරගෙන මේ තණ්හා ගඟ වියළවා දමන්න. මේ කාමාශාව දුරු කරන්න. පින්වත් බ‍්‍රාහ්මණය, මේ සංස්කාරයන්ගේ ක්‍ෂයවීම නුවණින් අවබෝධ කරගෙන, මේ පංච උපාදානස්කන්ධයට කෙළෙහි ගුණ නොදක්වන කෙනෙක් වෙන්න.
(ජේතවනාරාමයේදී ශ‍්‍රද්ධා බහුල බ‍්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

26.02.
යදා ද්වයේසු ධම්මේසු – පාරගූ හෝති බ‍්‍රාහ්මණෝ
අථස්ස සබ්බේ සංයෝගා – අත්ථං ගච්ඡන්ති ජානතෝ
නිවන් මග වඩන බ‍්‍රාහ්මණයා සමථ විදර්ශනා දෙකේ කෙළවරට ම ගිය දවසට මේ හැම බන්ධනයක්ම නැතිවෙලා යනවා. යථාර්ථය අවබෝධ වීම නිසා අරහත්වයට පත්වෙනවා.
(ජේතවනාරාමයේදී භික්ෂූන් තිස් නමක් අරභයා වදාළ ගාථාවකි ෴)

26.03.
යස්ස පාරං අපාරං වා – පාරාපාරං න විජ්ජති
වීතද්දරං විසංයුත්තං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යම් භික්ෂුවකට මෙතෙර නම් වූ ආධ්‍යාත්මික ආයතනත්, එතෙර නම් වූ බාහිර ආයතනත් යන මේ එතෙර මෙතෙර දෙකටම බැඳී ගිය කිසිවක් නැත්නම්, ඔහු කෙලෙස් පීඩා දුරු කළ කෙනෙක්. කෙලෙසුන්ගෙන් වෙන්වෙච්ච කෙනෙක්. ඔහුටයි, මම කියන්නෙ සැබෑම බ‍්‍රාහ්මණයා කියලා.
(ජේතවනාරාමයේදී වසවත් මරු අරභයා වදාළ ගාථාවකි ෴)

26.04.
ඣායිං විරජමාසීනං – කතකිච්චං අනාසවං
උත්තමත්ථං අනුප්පත්තං - තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
ඔහු ධ්‍යාන වඩනවා නම්, කෙලෙස් දූවිලි වලින් තොර නම්, වැඩිය යුතු නිවන් මග සම්පූර්ණ කරලා නම්, ආස‍්‍රව රහිත නම්, උත්තම අර්ථය වූ ඒ අමා නිවනට පත්වෙලා නම්, ඔහුටයි මම කියන්නෙ සැබෑම බ‍්‍රාහ්මණයා කියලා.
(ජේතවනාරාමයේදී එක්තරා බ‍්‍රාහ්මණයෙකු අරභයා වදාළ ගාථාවකි ෴)

26.05.
දිවා තපති ආදිච්චෝ – රත්තිං ආභාති චන්දිමා
සන්නද්ධෝ ඛත්තියෝ තපති – ඣායී තපති බ‍්‍රාහ්මණෝ
අථ සබ්බමහෝරත්තිං – බුද්ධෝ තපති තේජසා
දවාලටයි හිරු බබලන්නේ. රාත‍්‍රියටයි සඳු බබලන්නේ. සේනාවෙන් සන්නද්ධ වෙලා, ආභරණ වලින් සැරසුණාමයි රජු බබලන්නේ. ධ්‍යාන වඩනකොටයි සැබෑ ම බ‍්‍රාහ්මණයා බබලන්නේ. නමුත් දිවා රාත‍්‍රී හැමතිස්සෙම බුදු සමිඳුන් තමයි තේජසින් බබලන්නේ.
(ජේතවනාරාමයේදී ආනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.06.
බාහිතපාපෝ’ති බ‍්‍රාහ්මණෝ – සමචරියා සමණෝ’ති වුච්චති
පබ්බාජයත්තනෝ මලං – තස්මා පබ්බජිතෝ’ති වුච්චති
තම සිතින් පව් බැහැර කරපු නිසයි බ‍්‍රාහ්මණයා කියන්නේ. ධර්මයේ හැසිරිලා, යහපතේ යෙදෙන නිසයි, ශ‍්‍රමණයා කියන්නෙ. තමන් තුළ තිබුණු කෙලෙස් දුරුකරන නිසයි පැවිද්දා කියන්නෙ.

26.07.
න බ‍්‍රාහ්මණස්ස පහරෙය්‍ය – නාස්ස මුඤ්චේථ බ‍්‍රාහ්මණෝ
ධී බ‍්‍රාහ්මණස්ස හන්තාරං – තතෝ ධී යස්ස මුඤ්චති
අරහත් මුනිවරයා නම් වූ සැබෑම බ‍්‍රාහ්මණයාට පහර දෙන්ට හොඳ නෑ. අරහත් බ‍්‍රාහ්මණයා කෝපය පිටකරන ස්වභාවයෙන් තොර කෙනෙක්. අරහත් බ‍්‍රාහ්මණයාට පහර දෙන කෙනාට නින්දා වේවා! අරහත් බ‍්‍රාහ්මණයා ගැන කෝපය මතුකරන කෙනාටත් නින්දා වේවා!
(ජේතවනාරාමයේදී සැරියුත් මහ තෙරණුවන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.08.
න බ‍්‍රාහ්මණස්සේතදකිඤ්චි සෙය්‍යෝ – යදා නිසේධෝ මනසෝ පියේහි
යතෝ යතෝ හිංසමනෝ නිවත්තති – තතෝ තතෝ සම්මති මේව දුක්ඛං
අරහත් බ‍්‍රාහ්මණයා තුළ ඇති ඉවසීමේ ගුණය පොඩි දෙයක් නොවෙයි. කෝප වන පුද්ගලයා කෝප සිත් ඇතිකර ගැනීමෙනුයි ප‍්‍රීති වෙන්නෙ. අරහත් භික්ෂුව ඔහුගේ ඒ හිංසාකාරී සිත වළක්වනවා. යම් යම් කරුණකින් ඒ ක්‍රෝධ සිත් ඇති පුද්ගලයාගේ, ඒ ක්‍රෝධ සිත වළක්වනවා නම්, ඒ කාරණයෙන් ඔහුට ලැබෙන්න තියෙන දුකත් වැළකෙනවා.
(-එම- ෴)

26.09.
යස්ස කායේන වාචාය – මනසා නත්ථි දුක්කතං
සංවුතං තීහි ඨානේහි – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යම් කෙනෙකුට කය, වචනය, මනස යන තිදොරින් අකුසල් කිරීමක් නැත්නම්, ඔය තැන් තුනෙන්ම සංවර වෙලා නම් ඉන්නෙ, ඔහුට තමයි මම කියන්නේ සැබෑම බ‍්‍රාහ්මණයා කියලා.
(ජේතවනාරාමයේදී මහා ප‍්‍රජාපතී ගෞතමී භික්ෂුණී අරභයා වදාළ ගාථාවකි ෴)

26.10.
යම්හා ධම්මං විජානෙය්‍ය – සම්මාසම්බුද්ධදේසිතං
සක්කච්චං තං නමස්සෙය්‍ය – අග්ගිහුත්තං’ව බ‍්‍රාහ්මණෝ
සම්මා සම්බුදු රජුන් විසින් මනාකොට වදාළ ධර්මය තමන් ඉගෙන ගත්තෙ යම් කෙනෙකුගෙන් නම්, තමන්ට ධර්මය ඉගැන්වූ ඒ ගුරුවරයාට ඔහු ඉතා හොඳින් වඳිනවා. බ‍්‍රාහ්මණයෙක් ගින්නට වඳිනවා වගේ.
(ජේතවනාරාමයේදී සැරියුත් තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.11.
න ජටාහි න ගොත්තේන – න ජච්චා හෝති බ‍්‍රාහ්මණෝ
යම්හි සච්චඤ්ච ධම්මෝ ච – සෝ සුචී සෝ’ව බ‍්‍රාහ්මණෝ
ජටා බැන්ද කියලවත්, ගෝත‍්‍රය නිසාවත්, ඉපදුණ ජාතිය නිසාවත්, බ‍්‍රාහ්මණයෙක් වෙන්නෙ නෑ. යමෙක් තුළ ආර්ය සත්‍යයත්, ධර්මයත්, පිරිසිදු ජීවිතයක් තියෙනවා නම්, ඔහු තමයි සැබෑම බ‍්‍රාහ්මණයා.
(ජේතවනාරාමයේදී ජටිල බ‍්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

26.12.
කිං තේ ජටාහි දුම්මේධ – කිං තේ අජිනසාටියා
අබ්භන්තරං තේ ගහණං – බාහිරං පරිමජ්ජසි
අඥාන තැනැත්ත, ඔය ජටා බැඳගෙන ඇති පලේ මොකක්ද? ඔය අඳුන් දිවි සමෙන් ඇති පලේ කුමක්ද? තමන්ගේ ජීවිතේ ඇතුළේ කෙලෙස් පිරිලා තියෙද්දී බාහිර දේමයි ඔපදමන්නෙ.
(විසාලා මහනුවරදී කුහක බ‍්‍රාහ්මණයෙකු අරභයා වදාළ ගාථාවකි ෴)

26.13.
පංසුකූලධරං ජන්තුං – කිසං ධමනිසන්ථතං
ඒකං වනස්මිං ඣායන්තං - තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
සොහොනින් ගත්තු රෙදි වලින් මහපු සිවුරු තමයි පොරවාගෙන ඉන්නෙ. ශරීරයත් හරිම කෙට්ටුයි. නහර වැල් ඉලිප්පිලා තියෙනවා. හුදෙකලාවම වනයේ ඇතුළට ගිහින් භාවනා කරනවා. මං බ‍්‍රාහ්මණයා කියල කියන්නෙ අන්න ඒ පුද්ගලයාටයි.
(ගිජුකුළු පව්වේදී කිසාගෝතමී භික්ෂුණිය අරභයා වදාළ ගාථාවකි ෴)

26.14.
න චාහං බ‍්‍රාහ්මණං බ‍්‍රෑමි – යෝනිජං මත්තිසම්භවං
භෝවාදී නාම සෝ හෝති – සචේ හෝති සකිඤ්චනෝ
අකිඤ්චනං අනාදානං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
බැමිණියකගේ කුසේ වැඩිලා, ඒ මව් කුසින් බිහි වූ පමණින් ඔහුට මම බ‍්‍රාහ්මණයා කියන්නේ නෑ. ‘භවත’ ‘භවත’ කිය කියා ගියාට ඔහු කෙලෙස් සහිත කෙනෙක්. ‘භවත’ කියන්නේ නමට විතරයි. යමෙක් තුළ කෙලෙස් නැත්නම්, උපාදාන නැත්නම්, බ‍්‍රාහ්මණයා කිවයුත්තේ ඔහුට යි.
(සැවැත් නුවරදී බ‍්‍රාහ්මණයන් දෙදෙනෙකු අරභයා වදාළ ගාථාවකි ෴)

26.15.
සබ්බසංයෝජනං ඡෙත්වා – යෝ වේ න පරිතස්සති
සංගාතිගං විසඤ්ඤුත්තං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යම් කෙනෙක් සියලු බන්ධන සිඳලා, තැති ගැනීමක් නැතුව ඉන්නවා නම්, කෙලෙස් ඉක්මවා ගිය, කෙලෙස් සමඟ එක් නොවුණ ඒ නිකෙලෙස් තැනැත්තාටයි මං බ‍්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේදී උග්ගසේන සිටුවරයා අරභයා වදාළ ගාථාවකි ෴)

26.16.
ඡෙත්වා නද්ධිං වරත්තඤ් ච - සන්දාමං සහනුක්කමං
උක්ඛිත්තපලිඝං බුද්ධං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
ක්‍රෝධය නම් වූ ලණුව කපලා දාලා තෘෂ්ණාව නම් වූ දැඩි රැහැණත් කපලා දාලා, මිත්‍යා දෘෂ්ටි නම් වූ මහා දම්වැලත් සිඳලා දාලා, අවිද්‍යාව නම් වූ දොර අගුළුත් කඩලා දාලා ආර්ය සත්‍ය අවබෝධ කළ මුනිවරයාටයි මං බ‍්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී බමුණන් දෙදෙනෙකු අරභයා වදාළ ගාථාවකි ෴)

26.17.
අක්කෝසං වධබන්ධං ච – අදුට්ඨෝ යෝ තිතික්ඛති
ඛන්තිබලං බලානීකං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
බාහිර උදවිය ආක්‍රෝෂ කරද්දීත්, කායික වධබන්ධන කරද්දීත් ඒ කිසි දේකට කිපෙන්නෙ නැතුව, ඉවසනවා නම්, ඉවසීම ම බලය කරගෙන ඉන්න, අරහත් මුනිවරයාටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේදී අක්කෝසක භාරද්වාජ බ‍්‍රාහ්මණයා අරභයා වදාළ ගාථාවකි ෴)

26.18.
අක්කෝධනං වතවන්තං – සීලවන්තං අනුස්සුතං
දන්තං අන්තිමසාරීරං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
ඔහුට කේන්ති යන්නෙ නෑ. වත පිළිවෙතිනුත් යුක්තයි. සීල සම්පන්නයි. තණ්හාවෙනුත් තොරයි. ඉන්ද්‍රිය දමනයෙන් යුක්තයි. අන්තිම සිරුර තමයි දරාගෙන ඉන්නේ. අන්න ඒ රහත් මුනිවරයාටයි මං බ‍්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේදී සැරියුත් තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.19.
වාරි පොක්ඛරපත්තේ’ව – ආරග්ගේරිව සාසපෝ
යෝ න ලිප්පති කාමේසු – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
නෙළුම් කොළයක නොරැඳෙන වතුර බිංඳුවක් වගේ, ඉඳිකටු තුඬේ කෙළවර නොපිහිටන අබ ඇටයක් වගේ, යම් කෙනෙක් කාමයන් තුළ පිහිටන්නෙ නැත්නම්, ඒ තැනැත්තාටයි මම සැබෑම බ‍්‍රාහ්මණයා කියන්නෙ.
(ජේතවනාරාමයේදී උප්පලවණ්ණා භික්ෂුණිය අරභයා වදාළ ගාථාවකි ෴)

26.20.
යෝ දුක්ඛස්ස පජානාති – ඉධේව ඛයමත්තනෝ
පන්නභාරං විසංයුත්තං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යම් කෙනෙක් තමන්ගේ මේ සසර දුක, මේ ජීවිතය තුළදීම අවසන් වන බව දන්නවා නම්, කෙලෙස් බර වීසි කරපු කෙලෙසුන් හා එක් නොවුණ අන්න ඒ අරහත් භික්ෂුවටයි මම බ‍්‍රාහ්මණයා කියන්නෙ.
(සැවැත් නුවරදී එක්තරා බ‍්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

26.21.
ගම්භීරපඤ්ඤං මේධාවිං – මග්ගාමග්ගස්ස කෝවිදං
උත්තමත්ථං අනුප්පත්තං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
ඒ කෙනාට ගැඹුරු ප‍්‍රඥාවක් තියෙනවා. හරිම බුද්ධිමත්. මග නොමඟ තෝරාගන්ටත් හරිම දක්ෂයි. ජීවිතයක ලැබිය යුතු උතුම්ම අර්ථය වන අරහත්වයටත් පත්වෙලයි ඉන්නෙ. අන්න ඒ පුද්ගලයාටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(ගිජුකුලු පව්වේදී ඛේමා භික්ෂුණිය අරභයා වදාළ ගාථාවකි ෴)

26.22.
අසංසට්ඨං ගහට්ඨේහි – අනාගාරේහි චූභයං
අනෝකසාරිං අප්පිච්ඡං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
ගිහි පැවිදි කා සමගවත් ඔහු තුළ කිසි බැඳීමක් නෑ. ඔහු තෘෂ්ණා රහිතවයි ඉන්නෙ. අල්පේච්ඡයි. අන්න ඒ පුද්ගලයාටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී පබ්භාරතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.23.
නිධාය දණ්ඩං භූතේසු – තසේසු ථාවරේසු ච
යෝ න හන්ති න ඝාතේති – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
තැති ගන්න, තැති නොගන්න, සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් දඬු මුගුරු අත්හැරපු, තමනුත් සතුන් නොමරණ, අනුන් ලවාත් නොමරවන, ඒ තැනැත්තාටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(සැවැත් නුවරදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

26.24.
අවිරුද්ධං විරුද්ධේසු – අත්තදණ්ඩේසු නිබ්බුතං
සාදානේසු අනාදානං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
විරුද්ධ වෙන ස්වභාවයෙන් යුතු මහජනයා සමඟ කා සමඟවත් විරුද්ධ නොවී, දඬු මුගුරු ගත් මහජනයා අතර, නිවී ගිය සිත් ඇති, බැඳුණු සිත් ඇති මහජනයා අතර නොබැඳුණු සිතින් යුතු ඒ රහත් භික්ෂුවටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී සාමණේර හතර නමක් අරභයා වදාළ ගාථාවකි ෴)

26.25.
යස්ස රාගෝ ච දෝසෝ ච – මානෝ මක්ඛෝ ච පාතිතෝ
සාසපෝ රිව ආරග්ගා – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
රාගයත්, ද්වේෂයත්, මානයත්, ගුණමකුකමත්, හිඳිකටු තුඩ අග නොරැඳී වැටෙන අබ ඇටයක් වගේ, යම් කෙනෙකුගේ සිතින් බැහැර වුණා නම්, ඒ රහත් මුනිවරයාටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේදී මහාපන්ථක තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.26.
අකක්කසං විඤ්ඤපනිං – ගිරං සච්චං උදීරයේ
යාය නාභිසජේ කඤ්චි – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
කර්කශ වචන කියන්නෙ නැත්නම්, දෙලොව දියුණුව සළසන, මිහිරි වූ යහපත් වූ සත්‍ය වචන කියනවා නම්, කිසි කෙනෙක්ව කෝප ගන්වන්නෙ නැත්නම්, අන්න ඒ රහත් භික්ෂුවටයි මම බ‍්‍රාහ්මණයා කියන්නෙ.
(ජේතවනාරාමයේදී පිළින්දිවච්ඡ තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.27.
යෝ’ධ දීඝං ව රස්සං වා – අණුං ථූලං සුභාසුභං
ලෝකේ අදින්නං නාදියති – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යම් කෙනෙක් ලොකේ ඇති දිග හෝ, කෙටි හෝ, කුඩා හෝ, ලොකු හෝ ලස්සන හෝ, කැත හෝ, නුදුන් දෙයක් නොගනී නම්, අන්න ඒ රහත් මුනිවරයාටයි මං බ‍්‍රාහ්මණයා කියන්නෙ.
(ජේතවනාරාමයේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

26.28.
ආසා යස්ස න විජ්ජන්ති - අස්මිං ලෝකෝ පරම්හි ච
නිරාසයං විසංයුත්තං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යමෙක් තුළ මෙලොව ගැනවත්, පරලොව ගැනවත් ආසාවක් නැත්නම්, ආශා රහිත නම්, කෙලෙසුන්ගෙන් තොර නම්, ඒ රහත් භික්ෂුවටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී සැරියුත් තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.29.
යස්සාලයා න විජ්ජන්ති – අඤ්ඤාය අකථංකථී
අමතෝගධං අනුප්පත්තං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යමෙක් තුළ තෘෂ්ණාව නැත්නම්, සැකයෙන් තොර නම්, ඒ අමා නිවනටත් පත්වෙලා නම් ඉන්නෙ, අන්න ඒ රහත් භික්ෂුවටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී මුගලන් තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.30.
යෝ’ධ පුඤ්ඤං ච පාපං ච – උභෝ සංගං උපච්චගා
අසෝකං විරජං සුද්ධං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යමෙක් මේ ජීවිතය තුළදීම පිනත් පවත් කියන දෙකම ප‍්‍රහාණය කළා නම්, ඔහු ශෝක රහිත කෙනෙක්. නිකෙලෙස් කෙනෙක්. පිරිසිදු කෙනෙක්. ඒ රහත් මුනිවරයාටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී රේවත තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.31.
චන්දං’ව විමලං සුද්ධං – විප්පසන්නමනාවිලං
නන්දීභවපරික්ඛීණං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
ඔහු පුන්සඳක් වගේ නිර්මලයි. පිරිසිදුයි. අතිශයින්ම ප‍්‍රසන්නයි. කැළඹිලි නෑ. භව තෘෂ්ණාව නැතිකරලයි ඉන්නෙ. අන්න ඒ රහත් භික්ෂුවටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී චන්දාභ තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.32.
යෝ ඉමං පළිපථං දුග්ගං – සංසාරං මෝහමච්චගා
තිණ්ණෝ පාරගතෝ ඣායී – අනේජෝ අකථංකථී
අනුපාදාය නිබ්බුතෝ – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යමෙක් මේ කෙලෙස් මඩවගුරෙන් යුක්ත දුෂ්කර ගමනින් එතෙර වුණා නම්, මායා – මෝහ ඇති සංසාරය ඉක්මවා ගියා නම්, ඔහු එතෙර වුණ කෙනෙක් පරතෙරට ගිය කෙනෙක්. ධ්‍යාන වඩන කෙනෙක්. නිකෙලෙස් කෙනෙක්. සැක රහිත කෙනෙක්. කිසිවකට නොබැඳී නිවී ගිය කෙනෙක්. අන්න ඒ රහත් මුනිවරයාටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(කුණ්ඩවධාන වනයේදී සීවලී තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.33.
යෝ’ධ කාමේ පහත්වාන – අනගාරෝ පරිබ්බජේ
කාමභවපරික්ඛීණං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යම් කෙනෙක් කාමයන් අත්හැරලා, අනගාරික ශාසනේ පැවිදි වෙලා, කාම තණ්හා, භව තණ්හා ආදිය නැති කළා නම්, අන්න ඒ රහත් මුනිවරයාටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී සුන්දර සමුද්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.34.
යෝ’ධ තණ්හං පහත්වාන – අනගාරෝ පරිබ්බජේ
තණ්හාභවපරික්ඛීණං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යම් කෙනෙක් කාමයන් කෙරෙහි ඇති තණ්හාව අත්හැරලා දාලා, අනගාරික ශාසනේ පැවිදි වෙලා, භව තෘෂ්ණාව ප‍්‍රහාණය කළා නම්, ඒ රහත් මුනිවරයාටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේදී ජෝතිය තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.35.
හිත්වා මානුසකං යෝගං – දිබ්බං යෝගං උපච්චගා
සබ්බයෝගවිසංයුත්තං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යමෙක් මිනිස් ලොව බැඳීම අත්හැරලා, දෙව්ලොවට ඇති බැඳීමත් ඉක්මවා ගියා නම්, හැම කෙලෙස් බැඳීමෙන්ම වෙන් වුණා නම්, අන්න ඒ රහත් මුනිවරයාටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

26.36.
හිත්වා රතිං ච අරතිං ච – සීතිභූතං නිරූපධිං
සබ්බලෝකාභිභුං වීරං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
කාමයට ඇති ඇල්මත් අත්හැරලා, භාවනාවේ නොඇලෙන ගතියත් අත්හැරලා, සිසිල් වෙලා, නිකෙලෙස් වුණා නම්, හැම ලෝකයක්ම මර්ධනය කරපු ඒ වීරියවන්ත රහත් මුනිවරයාටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

26.37.
චුතිං යෝ’වේදි සත්තානං – උපපත්තිං ච සබ්බසෝ
අසත්තං සුගතං බුද්ධං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යම් කෙනෙක් සත්වයන්ගේ චුතියත්, උපතත්, සියලු ආකාරයෙන්ම අවබෝධ කලා නම්, කිසි භවයක සිත ඇලෙන්නෙ නැත්නම්, සුන්දර නිවන් මග ගමන් කළා නම්, ආර්ය සත්‍ය අවබෝධ කළා නම්, අන්න ඒ රහත් මුනිවරයාටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේදී වංගීස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.38.
යස්ස ගතිං න ජානන්ති – දේවා ගන්ධබ්බමානුසා
ඛීණාසවං අරහන්තං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යම් කෙනෙක් ගිය මග දෙවියන්ටවත්, මිනිසුන්ටවත්, ගාන්ධර්වයන්ටවත්, දැනගන්නට බැරි නම්, ආස‍්‍රව රහිත වූ ඒ රහතන් වහන්සේටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(-එම- ෴)

26.39.
යස්ස පුරේ ච පච්ඡා ච – මජ්ඣේ ච නත්ථි කිඤ්චනං
අකිඤ්චනං අනාදානං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යමෙකුට අතීතය ගැන හෝ, අනාගතය ගැන හෝ වර්තමානය ගැන හෝ කිසි ක්ලේශයක් නැත්නම්, ඒ තැනැත්තා නිකෙලෙස් කෙනෙක්. උපාදාන රහිත කෙනෙක්. මම ඒ රහතන් වහන්සේටයි බ‍්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේ දී ධම්මදින්නා භික්ෂුණිය අරභයා වදාළ ගාථාවකි ෴)

26.40.
උසභං පවරං වීරං – මහේසිං විජිතාවිනං
අනේජං නහාතකං බුද්ධං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
ඔහු ආජානීය වෘෂභයෙක් වගේ උතුම් කෙනෙක්. වීරියවන්ත කෙනෙක්. මහා ඉසිවරයෙක්. මර සෙනඟ පරදවා ජයගත් කෙනෙක්. නිකෙලෙස් කෙනෙක්. කෙලෙස් සෝදාහළ කෙනෙක්. ආර්ය සත්‍ය අවබෝධ කළ කෙනෙක්. අන්න ඒ රහත් මුනිඳුටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී අංගුලිමාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

26.41.
පුබ්බේනිවාසං යෝ’වේදී – සග්ගාපායං ච පස්සති
අථෝ ජාතික්ඛයං පත්තෝ – අභිඤ්ඤාවෝසිතෝ මුනි
සබ්බවෝසිතවෝසානං – තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං
යම් කෙනෙක් තමන් ගත කළ පෙර ජීවිත ගැන අවබෝධ කළා නම්, ස්වර්ගයත්, අපායත් දිවැසින් දකිනවා නම්, ඒ වගේම ඉපදීම නැති කරලා අරහත්වයටත් පත්වුණා නම්, ඒ සුවිශේෂ ඤාණ ලබාගත්තු ඔහු මුනිවරයෙක්. සියලු කෙලෙස් නසා, නිවන් මග සම්පූර්ණ කරගත්තු කෙනෙක්. අන්න ඒ රහත් මුනිවරයාටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.
(සැවැත් නුවර දේවංගික බ‍්‍රාහ්මණයා අරභයා වදාළ ගාථාවකි ෴)

සාදු! සාදු!! සාදු!!!
බ‍්‍රාහ්මණයා ගැන වදාළ කොටස නිමා විය.
(බ‍්‍රාහ්මණ වග්ගය නිමා විය.)

Post a Comment

පුජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව

රට,ජාතිය ආගම සුරක්ෂිත කිරිමේ පරම අභිලාසයෙන්
මේ මාහා වැඩ සටහන් සදහා ඔබ සියල්ලගේ
ආදාර උපකාර අවස්සම මොහොත එලබ ඇත.
මෙය සදහා හැකි පමනින් දායක විය හැක
විස්තර මෙහි පහත Comment හි සටහන් කරන්න.

පිංවතුන්ගේ පහසුව සදහා.

අම්පිටියේ සුමනරත්න හිමි.

දුරකතන අංක 077 179 188 3

මහජන බැංකුව මඩකලපුව
075 2001 2004 5156

ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම,
සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව,

තේරුවන් සරණයි...!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--